Saturday, June 14, 2014

Posted by Unknown | File under :


අද පාරේ හිටගෙන ඉන්නා පොලිස් නිලධාරියා ද මදක් පපුව පෙරට දමා ඉන්නේ මහත් ආඩම්බරයෙනි. ඒ අන් කිසිවක් නිසාවත් නොව තමාගේ ඉනේ ඇති 'නීත්‍යානුකූල පිස්තෝලය' නිසාවෙනි. මෙසේ පිස්තෝල දෙන්නට හේතුව ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ නම් පොලිස් නිලධාරීන්ට දිගින් දිගටම සිදුවෙන හිරිහැර වලට විසඳුමක් ලෙස සියලු පොලිස් නිලධාරීන් ට පිස්තෝල ලබාදුන්නා යැයි කියලයි. නමුත් ඔහුට වැරදුනු තැනක් ඇත, පොලිස් නිලධාරීන්ට සිදුවන තරමක් පහරදීම් සිදුවූයේද සිදුවන්නේ ද අප වැනි නිරායුධ අහිංසක මිනිසුන්ගෙන් නොව දේශපාලන බලය සෘජුව හෝ වක්‍රව හිමි සුපිරි ධනවතුන්ගෙනි. ඔවුන් ඉදිරියේ කිසි දිනක පොලිස් නිලධාරියෙක් පි‍ස්තෝලයක් දිගු කිරීමට විනා ඔවුන් දෙස පොලිස් නිලධාරීන් හිස ඔසවා බලන්නටද මදක් බියය.

එසේම අනෙක් වැරදුනු තැන නම් පිස්තෝලයක් දුන්නාට මදිය එය පාවිච්චි කරන හැටිද ඉගැන්විය යුතුය. කොටින්ම අද වෙනවිට වාර්ථා වූ පුවත් වලට අනුව මෙතෙක් සිදුකල වෙඩි තැබීම් කිසිවක් හරි ඉලක්කයට තැබූ ඒවා නොවේ. මේ සිදු කර ඇත්තේ අර කාටද දැලි පිහි දුන්නා හා සමාන ක්‍රියාවකි. මුලින්ම පොලිස්පති තුමාට තිබුණේ විශේෂ පුහුණු වැඩසටහනක් හරහා හෝ පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම ඉගැන්වීමටයි.

එපමණක්ම නෙමෙයි. පිස්තෝලයක් කියන්නෙ බලයක්. ජීවිතයක් නැති කරන්න පුලුවන් මේ බලය අතට දීමට පෙර පොලිසියට එය ඔරොත්තු දීමට හික්මීමක් විනයක් ඇති දැයි සිතා බැලිය යුතුව තිබිණි. හෙට වෙනකොට මහජනතාව අතර සිදුවන අපරාධ මැඩලන්නට සියලු මහජනතාවට පිස්තෝල බෙදා දීමට පොලීසිය යෝජනා කලොත් එය ගැන පුදුම විය යුතු නැත.

උදාහරණයක් ලෙස විශේෂ කාර්ය බලකායට සැහැල්ලු, බර,තියුණු ආයුධ පුහුණුව දිය යට සටන් ඇතුළු සියලු පුහුණුවක් ලබා දෙනවා. ''නොහැක්කක් නොමැත'' කියලා කියන්න තරමට ඔවුන් පුහුණු කරනවා. එසේම ඒ ආයුධ පුහුණුවට සමගාමීව විවිධ දේශන හරහා ඔවුන් උද්යෝගමත් කරනවා ඔවුන් තුල හික්මීමක් ඇති කරනවා. ආයුධ දීම, ආයුධ පුහුණුව, හික්මවීම මේ තුනම එක වර සිදු වෙනවා.

පොලිස් නිලධාරියෙකුට පිස්තෝලයක් ලැබීම ඔහුගේ ඇතුලාන්තයෙන් කෙසේ දකීවිද? මෙච්චර කාලයක් පොලු කෑල්ලක් උස්සගෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ගල් මුල් පාරවල් කාපු අපිට දැන් බය වෙන්න දෙයක් නෑ. දැන් පිස්තෝලයක් තියෙනවා. මට කාටවත් බය වෙන්න ඕන නෑ මට පිස්තෝලයක් තියෙනවා. එසේම ඇතුලාන්තයෙන් එය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. හොඳම උදාහරණය ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම. පොලිස් නිලධාරීන් සතුව බයිසිකලයක් තිබුණත් නොනවත්වා ගියා යැයි කියන බයිසිකලය හඹා යනවා වෙනුවට ක්ෂණිකව වෙඩි තියනවා. (නමුත් එහි  තවත් පැත්තක් නම් හිටගෙන සිටින අයෙකුට වත් ඉලක්කයට වෙඩි තැබිය නොහැකි පොලිස් නිලධාරීන් බයිසිකලයක යන අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමේ ආශ්චර්යමත් සිදුවීමයි.)

පොලිස් නිලධාරීන් යනු අත් දෙක වන වනා යා යුතු අය නොවේ. ඔවුන්ට ආයුධ දීම වරදක් ද නොවේ. නමුත් පළමුව ඔවුන්ට එම ආයුධ භාවිත කිරීමේ මනා පළපුරුද්දක් ‍මෙන්ම තමා තුළ ස්වං හික්මීමක් (බලයෙන් උද්දාමයට පත් නොවීමට) ඇති කළ යුතුව තිබිණි. පෙර කියූ සේම ආයුධ,ආයුධ පුහුණුව, හික්මවීම යන තුනම එකවර ලැබිය යුතුය. එයට දැනටත් ප්‍රමාද නැත. 

0 අදහස්:

Post a Comment