Sunday, December 14, 2014

Posted by Admin |
කර්මාන්ත ශාලා ඉදිකරනවා රැකියා අවස්ථා ලබාදෙනවා යන්න සත්‍යවශයෙන්ම ආකර්ශණීයයි. නමුත් වර්ථමාන ලංකාවට නිශ්පාදන ආර්ථිකයක් සුදුසු වන්නේ නැහැ. නිශ්පාදන ආර්ථිකයක් තුලින් රට දියුණු කරන්නට නම් එක්කෝ අපේ නිශ්පාදනයන් ලෝකය සමඟ මිලෙන් තරඟ කල යුතුයි. නැතහොත් ගුණත්වයෙන් තරඟ කළ යුතුයි. රටේ අවම වැටුප් මට්ටම සහ සෙසු නිශ්පාදන පිරිවැය අනෙක් රටවලට වඩා සාපේක්ෂව වැඩි අවස්ථාවක අප නිශ්පාදන ආර්ථිකයකට යොමු වෙනවා නම් අනෙක් අතින් විවෘත්ත ආර්ථිකයට වැට කඩුලු බඳින්න සිදු වෙනවා.

ඔබ දන්නවා ඇති ලංකාවේ අල වගා කිරීම, ලංකාවේ අල නිශ්පාදනය කරන සමයේ සිල්ලර වෙළඳපොළ තුල අල මිල ඉහල යනවා. ඒ අලගොවියාට සාධාරණ මිලක් ලබාදීම සඳහා ආනයනික අල සඳහා බදු අයකිරීම හේතුවෙන්. නමුත් එයින් පාරිභෝගිකයාට අඩු මිලට ලබාගැනීමට හැකිව තිබූ අල සඳහා දැන් වැඩි මිලක් ගෙවන්න සිදු වෙලා. ඒ එක් උදාහරණයක් පමණයි මෙරට නිශ්පාදනයක් කරන්න සාපේක්ෂව වැඩි පිරිවැයක් දරන්න සිදු වෙනවා නම් නිශ්පාදකයා වැඩි මිලක් බලාපොරොත්තු වෙනවා.

නමුත් අයෙකුට හැකි නම් අදාල අල නිශ්පාදනයට යොදවන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය සංචාරක හෝටලයක් සඳහා යොදවන්න. අන්න ඒ මොහොතේදී ඔබ සපයන සේවයට සාධාරණ මිලක් ඔබට ලබාගන්න පුලුවන්. එපමණක් නොවෙයි රටට එන විදේශ විනිමය නිසා ගැටළුවක් ඇති නොවී අවශ්‍යය අල ප්‍රමාණය අඩු මිලට ආනයනය කරන්නත් හැකි වෙනවා. පාරිභෝගිකයාටත් නිසි මිලක් ලැබෙනවා.

වර්ථමාන රජය ඉතාමත් දූරදර්ශී ලෙස සේවා ආර්ථිකයකට අවශ්‍යය ඉලක්ක සකස් කරගෙන තිබෙනවා. නමුත් එහිදී සිදු කරන සංවර්ධන කටයුතු අතර සිදුවෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා නිසා සහ ප්‍රමුඛතා හඳවා නොගැනීම නිසා එහි නිසි දායකත්වයක් ආර්ථිකයට නොලැබීමත් ගැටලුවක්. උදාහරණයක් ලෙස මත්තල ගුවන් තොට ඉතාමත් නිශ්ඵල ව්‍යාපෘතියක්. නමුත් හම්බන්තොට වරාය එසේ බැහැර කළ නොහැකියි.

එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට දොර විවෘත්ත කිරීමත් සේවා ආර්ථිකයක් කරා අප යන ගමනේ තීරණාත්මක සංධිස්ථානයක් නමුත් එහිද ඇති ප්‍රධාන ගැටලුව වෙලා තිබෙන්නේ රජය ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල නිසි නියාමනයකට ලක් නොකිරීමයි. ඒ සියල්ල ඩීල් බවට පත්වීම කණගාටුදායකයි.

එසේම ඕනෑම ව්‍යාපෘතියක් සිදුකිරීමට පෙර ලබාගන්න ණය ගෙවීමේ ශක්‍යතාවයක් අදාල ව්‍යාපෘතිය තුලින්ම ඇති කිරීමට සැලසුම් කළ යුතුයි. නොඑසේ නම් රටේ සංවර්ධන ව්‍යාපෘති ඉදිවෙනවා සේම රටේ අනාගත දරු පරපුරට ඒ වෙනුවෙන් ඔවුන්ගේ අනාගත අවශ්‍යයතා කැප කරන්න සිදු වේවි. ( උදාහරණයක් ලෙස උද්‍යානයක් නිර්මාණය කිරීමේදී එයින් රජයට ආදායමක් ලබාගත හැකි කඩකාමර කිහිපයක් ස්ථානගත කිරීම, අධිවේගී මාර්ගයක් නම් එහි ලැබෙන ප්‍රතිලාභ වැයට සාපේක්ෂව අඩුවීම)

ලංකාවේ බදු/සහනාධාර ක්‍රමය පිළිබඳ නම් කිසිදු පැහැදීමක් නැහැ මොකද ලංකාවේ එය විකෘත්තියක් වෙලා. හිඟන්නා කන පාන් බාගයටත් බදු අය කරන අතර කෝටිපති ව්‍යාපාරිකයාගේ දරුවා රාජ්‍ය පාසලක ඉගෙනුම ලබයි නම් ඔහුටත් නොමිලයේ නිල ඇඳුම් ලබාදෙනවා. මේ වනවිටත් රටේ ආදායම් බෙදීයාමේ විශමතාවය දරුණු තත්වයකට පත් වෙමින් පවතිනවා. එය සමනය කිරීම ඉලක්ක කරගත් බදු ක්‍රමයක් ඉතාමත් කඩිනමින් සකස් විය යුතුයි. එහිදී සෘජු බදු නොහොත් ආදායම් බදු සඳහා වැඩි බර තැබීමක් සිදු කළ යුතු අතර අත්‍යාවශ්‍යය භාණ්ඩ සඳහා බදු නිදහස් කළ යුතුවේ. එසේම අවම ජීවන මට්ටමේ සිටින්නවුන්ට එය පවත්වාගෙන යාමට සහයක් ලෙසින් ඔවුන් ඉලක්ක කරගත් අත්‍යාවශ්‍යය භාණ්ඩ සඳහා සහනාධාරණයක් සැපයිය යුතුයි.

එපමණකින් නොනැවතී  පෞද්ගලික රෝහල් වලට යන ධනවත් පන්තිය ආකර්ශණය කරගැනීම සඳහා රාජ්‍ය නමුත් මිලක් ගෙවා ප්‍රතිකාර ගත හැකි අංශ සෑම රාජ්‍ය රෝහලකම ඇති කළ යුතුයි. ඒ සඳහා රූපවාහිනී, වායුසමීකරණ පහසුකම්, සුවපහසු ඇඳන්, කාමර වැනි ආකර්ශණීය උපක්‍රම භාවිතා කළ හැක.  අදාල අංශයට ලැබෙන ආදායම එවිට රෝහලේ නොමිල ප්‍රතිකාර සඳහා යොමු කළ හැක.

සෑම සුභසාධන වැඩපිළිවෙලක්ම ඒ හා බැඳුනු යැපුම් ක්‍රමයකට ඈඳිමෙන් සුබසාධනය නිසා ඉහල යන රාජ්‍ය වැය පාලනය කරගත හැක. එසේම සුබසාධනය අවශ්‍යය ජනතාවට සුබසාධනය ලැබෙනු ඇත. එ් අතරම අනවශ්‍ය බදු බරක් පාරිභෝගික භාණ්ඩ මත නොපැනවේවි. එසේ නමුත් අධ්‍යාපනය නම් කාරණයේදී එහි විශේෂ අවස්ථාවක් දැකිය හැක. පාසල් අධ්‍යාපනයේදී මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි විශේෂ අංශ ඇති කිරීම දරුවන් අතර පන්ති භේදයක් ඇති කිරීමට හේතු විය හැක. එබැවින් පාසල තුල සමානාත්ම තාව ආරක්ෂා කිරීමේ අවශ්‍යයතාවය නිසා එයට ඉහත අයුරින් මැදිහත්වීමක් නොකළ යුතුය.

මාගේ දැක්මට අනුව නම්, දූෂණ වංචා අක්‍රමිකතා හැරුණු විට රජය බොහෝ දුරට හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. නමුත් ගැටලුව එය නොවෙයි රට තුළ ගොඩනැගී ඇති ඒකාධිපති පාලනයක් රට ආඥාදායකත්වක් කරා රාජාණ්ඩු ක්‍රමයක් කරා සොඳුරු මල් මාවතක් මැදින් රැගෙන යනවා. රටේ පාර්ලිමේන්තුව නාමික වෙලා, අධිකරණය විධායකයට යට වෙලා නීතියක් නැති වෙලා, ව්‍යවස්ථාව විධායකයට අවශ්‍යය විට වෙනස් කිරීම පුරුද්දක් වෙලා. එසේ නම් ඉහත කුමන ආර්ථික උපායමාර්ග භාවිතා කලත් රාජාණ්ඩු ක්‍රමයක් යටතේ ඒ කිසිවකවත් සමාජයේ සියලු මට්ටම් වලට එක ලෙස ප්‍රථිඵල ලබාගත නොහැකියි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. එයට ඇති ‍ප්‍රධානම බාධාව වන විධායකය සතු අත්තනෝමතික බලතල සංශෙෘ්දනය කොට පාර්ලිමේන්තුවට අධිකරණයට කැබිනට්ටුවට වගකියන පාලකයෙක් බිහිවිය යුතුයි.


Wednesday, July 9, 2014

Posted by Unknown |


පිවිසෙන්න - "අපි නිවෙමු" 

ඔබට කරදරයක් උනාම ඔබේ අපල උපද්‍රව කාලයක් කියලා ජ්‍යෝතිශ්‍ය වේදියා කිවුවම ඔක්කෝම පැත්තක තියලා පන්සලට දුවනවා. පන්සලට කිවුවට පන්සලටම නෙමෙයි පන්සලේ දේවාලෙට. ඔබ නොහිතුවාට ඔය බොහෝ දෙවිවරු හින්දු දෙවිවරු. ඒ අය මේ පන්සල ඇතුලට ආවෙ (මම කියන්නෙ නම් 'රිංගුවෙ') ඉන්දීය ආක්‍රමණ වලින් සහ ලංකාවේ රජ උන රජවරුන්ගේ ඉන්දීය බිරින්දෑවරුන්ට යන්නයි. ඉතින් ඒ බිරින්දෑවරුන්ගේ ආභාෂයෙන්දෝ මන්දා අපේ අම්මලා දරුවොත් එක්කගෙන ගිහින් දෙවියෝ වඳින්න දෙවියන්ගෙන් එක එක ඒවා ඉල්ලන්න, පළතුරු වට්ටි පූජ කරන්න පුරුදු වෙලා.

අපි මේක එකිනෙක ලිහාගමු.

ඔබ මුලින් දෙවිවරු කියන්නෙ කවුද කියලා හිතන්න. දේව ලෝක බුදු දහමේ පිළිගන්නවා, දේව ලෝක කියන්නෙත් මිනිස්සු වගේම කාම ආශාවල් තියෙන එහෙත් මිනිස්සුන්ට වඩා උසස්, පිං කරලා ඒ පින් බලෙන් මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි සැප විඳින කොටසක්. ඉතින් ඒ දෙවියො ඔබ අරන් යන බෙහෙත් ගහපු පළතුරු වට්ටියකට කෑදර කමට ඔබ කියන දේ ඉටු කරලා දේවිද? ඔබම විහිලුවක් වෙලා නේද? දිව්‍යලෝකෙ ඉන්න දෙවියො අපි වගේ පළතුරු කන්නෙ නැහැ ඒ අයට එහෙම අවශ්‍යය උනාම භෞතිකව නැතත් ඒ රසය පරිපූර්ණව විඳින්න පුලුවන් (වස විස නැතුව). නමුත් දෙවියෝ ආශිර්වාද කරනවා ඒකට කරන්න ඕනෙ ඔබ මොකක් හරි පිනක් කරලා ඒ පින ඒ දෙවියන්ට අනුමෝදම් කරන්න ඕනෙ. ඒ හැර කාමාශාවන් තවමත් ප්‍රහාණය නොකල දෙවියන්ට ඔබ කියන දේවල් කරදෙන්න බැහැ.
දෙවිවරු සාත්තර කියන්න මිනිස්සුන්ගෙ ඇඟට වැහෙනවද? එහෙම වැහුනා නම් ඒ දෙවියෙක් වෙන්න බෑ. මොකද කාමාශාවල් පස්සෙ යන මිනිස්සු ඉන්න පළාතකටයත් දෙවියො ලං වෙන්නෙ නැහැ. එහෙම දේවාරුඪයෙන් සාත්තර අහන්න ගියා නම් මතක තියාගන්න ඒ සාත්තර බොරු. එහෙම නැත්තම් ඒ වැහිලා ඉන්නෙ මල පෙරේතයෙක්. දෙවියන් කිසි සේත්ම මනුස්ස ඇඟකට වැහෙන්නෙ නෑ.

මීලඟ මුලාව, දෙවිවරුන්ගෙ ඔලු පහයි කකුල් අටයි අලි බඩයි වගේ විකෘත්ති කරලා මනිස්සු විසින් හදාගත්තු රූප නැහැ. දෙවියන් කියන්නෙ මනුෂ්‍ය රූපයක් සහිත පිරිසක් නෙමෙයි දෙවියන් කියන්නේ අපේ ඇහැට සංවේදී නොවන ඝණ රූපයක් රහිත කොටසක්.

මීලඟට සර්වබලධාරී දෙවියන් ඉන්නවාද කියන ගැටලුව. නැහැ කොහෙත්ම නැහැ සර්වබලධාරී දෙවියන් ඇති නම් මා ඔබෙන් අසන ප්‍රශ්ණය ඒ සර්වබලධාරී දෙවියා ඉබේ පහල උනාද? මවු කුසකින් ආවාද නැතහොත් ඔහු මැවීමට වෙනත් සර්වබලධාරීයෙක් ඇත්ද? එසේ නම් සර්වබලධාරී අදහස තනිකරම මුලාවක් පමණයි.

දෙවියන් හා බුදු දහම අතර අපි කෙසේ සම්බන්ධයක් පවත්වාගත යුතුද?
දෙවියන් යනු අප වැනිම ජීවින් කොටසක්, අපිට වඩා උසස් නමුත් අපි වගේම කාමාශාවල් සහිත ජීවි කොටසක්. දෙවියන් වැඳීමෙන් පුජා පැවැත්වීමෙන් ඇදහීමෙන් කිසිදු ප්‍රථිපලයක් ලැබෙන්නෙ නැහැ. එසේම දේව වන්දනාව කුමන දෙවියන් උනත් මිත්‍යා දෘෂ්ඨිකයි. මොකද මේ සියලු දෙවිවරු පිලිගන්නෙ ලෝකය නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලා. ඒ දෙවිවරුන්ගේ ඉගැන්වීම නිත්‍යයි, සුඛයි, ආත්මයි. නමුත් බුදු දහම අනිත්‍යයි, දුකයි අනාත්මයි කියල උගන්වනවා.

එසේ නම් ඔබ තවදුරටත් බුදුන්ගේ දේශනාව අනුගමනය නොකර, බුදුන්ගේ ඉගැන්වීම පසෙක දාලා බුදුන්ගේ ඉගැන්වීමට උපහාස කරමින් බුදු දහමට 100%ක්ම ප්‍රතිවිරෝධී දෙවියන් යදිනවාද?

"හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී... "

උපුටාගැනීම - "අපි නිවෙමු"

Saturday, June 14, 2014

Posted by Unknown | File under :


අද පාරේ හිටගෙන ඉන්නා පොලිස් නිලධාරියා ද මදක් පපුව පෙරට දමා ඉන්නේ මහත් ආඩම්බරයෙනි. ඒ අන් කිසිවක් නිසාවත් නොව තමාගේ ඉනේ ඇති 'නීත්‍යානුකූල පිස්තෝලය' නිසාවෙනි. මෙසේ පිස්තෝල දෙන්නට හේතුව ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ නම් පොලිස් නිලධාරීන්ට දිගින් දිගටම සිදුවෙන හිරිහැර වලට විසඳුමක් ලෙස සියලු පොලිස් නිලධාරීන් ට පිස්තෝල ලබාදුන්නා යැයි කියලයි. නමුත් ඔහුට වැරදුනු තැනක් ඇත, පොලිස් නිලධාරීන්ට සිදුවන තරමක් පහරදීම් සිදුවූයේද සිදුවන්නේ ද අප වැනි නිරායුධ අහිංසක මිනිසුන්ගෙන් නොව දේශපාලන බලය සෘජුව හෝ වක්‍රව හිමි සුපිරි ධනවතුන්ගෙනි. ඔවුන් ඉදිරියේ කිසි දිනක පොලිස් නිලධාරියෙක් පි‍ස්තෝලයක් දිගු කිරීමට විනා ඔවුන් දෙස පොලිස් නිලධාරීන් හිස ඔසවා බලන්නටද මදක් බියය.

එසේම අනෙක් වැරදුනු තැන නම් පිස්තෝලයක් දුන්නාට මදිය එය පාවිච්චි කරන හැටිද ඉගැන්විය යුතුය. කොටින්ම අද වෙනවිට වාර්ථා වූ පුවත් වලට අනුව මෙතෙක් සිදුකල වෙඩි තැබීම් කිසිවක් හරි ඉලක්කයට තැබූ ඒවා නොවේ. මේ සිදු කර ඇත්තේ අර කාටද දැලි පිහි දුන්නා හා සමාන ක්‍රියාවකි. මුලින්ම පොලිස්පති තුමාට තිබුණේ විශේෂ පුහුණු වැඩසටහනක් හරහා හෝ පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම ඉගැන්වීමටයි.

එපමණක්ම නෙමෙයි. පිස්තෝලයක් කියන්නෙ බලයක්. ජීවිතයක් නැති කරන්න පුලුවන් මේ බලය අතට දීමට පෙර පොලිසියට එය ඔරොත්තු දීමට හික්මීමක් විනයක් ඇති දැයි සිතා බැලිය යුතුව තිබිණි. හෙට වෙනකොට මහජනතාව අතර සිදුවන අපරාධ මැඩලන්නට සියලු මහජනතාවට පිස්තෝල බෙදා දීමට පොලීසිය යෝජනා කලොත් එය ගැන පුදුම විය යුතු නැත.

උදාහරණයක් ලෙස විශේෂ කාර්ය බලකායට සැහැල්ලු, බර,තියුණු ආයුධ පුහුණුව දිය යට සටන් ඇතුළු සියලු පුහුණුවක් ලබා දෙනවා. ''නොහැක්කක් නොමැත'' කියලා කියන්න තරමට ඔවුන් පුහුණු කරනවා. එසේම ඒ ආයුධ පුහුණුවට සමගාමීව විවිධ දේශන හරහා ඔවුන් උද්යෝගමත් කරනවා ඔවුන් තුල හික්මීමක් ඇති කරනවා. ආයුධ දීම, ආයුධ පුහුණුව, හික්මවීම මේ තුනම එක වර සිදු වෙනවා.

පොලිස් නිලධාරියෙකුට පිස්තෝලයක් ලැබීම ඔහුගේ ඇතුලාන්තයෙන් කෙසේ දකීවිද? මෙච්චර කාලයක් පොලු කෑල්ලක් උස්සගෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ගල් මුල් පාරවල් කාපු අපිට දැන් බය වෙන්න දෙයක් නෑ. දැන් පිස්තෝලයක් තියෙනවා. මට කාටවත් බය වෙන්න ඕන නෑ මට පිස්තෝලයක් තියෙනවා. එසේම ඇතුලාන්තයෙන් එය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. හොඳම උදාහරණය ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම. පොලිස් නිලධාරීන් සතුව බයිසිකලයක් තිබුණත් නොනවත්වා ගියා යැයි කියන බයිසිකලය හඹා යනවා වෙනුවට ක්ෂණිකව වෙඩි තියනවා. (නමුත් එහි  තවත් පැත්තක් නම් හිටගෙන සිටින අයෙකුට වත් ඉලක්කයට වෙඩි තැබිය නොහැකි පොලිස් නිලධාරීන් බයිසිකලයක යන අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමේ ආශ්චර්යමත් සිදුවීමයි.)

පොලිස් නිලධාරීන් යනු අත් දෙක වන වනා යා යුතු අය නොවේ. ඔවුන්ට ආයුධ දීම වරදක් ද නොවේ. නමුත් පළමුව ඔවුන්ට එම ආයුධ භාවිත කිරීමේ මනා පළපුරුද්දක් ‍මෙන්ම තමා තුළ ස්වං හික්මීමක් (බලයෙන් උද්දාමයට පත් නොවීමට) ඇති කළ යුතුව තිබිණි. පෙර කියූ සේම ආයුධ,ආයුධ පුහුණුව, හික්මවීම යන තුනම එකවර ලැබිය යුතුය. එයට දැනටත් ප්‍රමාද නැත.