Sunday, May 12, 2013

Posted by Unknown |



ලංකාවේ විධායක ජනාධිපති ධූරය, කාටත් වග නොවන තමාගේ තනි කැමැත්තට ඕනෑම දෙයක් කිරීමට හැකි ලොව අනෙක් රටවලට සාපේක්ෂව බලවත්ම ජනාධිපති ධූරයක්. රට දියුණු කරනවා නම් රට ආ පස්සට අදින්නන් වලකමින් සීග්‍රවේගයෙන් දියුණුව කරා මෙහෙයවන්න මේ තරම් හොඳ උපකරණයක් තවත් නැති තරම්.

නමුත් විධායක ජනාධිපති ධූරය ඇති කළ දා පටන් පත් වූ බොහෝ ජනාධිපති වරු එය රටේ යහපතට යොදාගනු වෙනුවට තමාගේ යහපත උදෙසා පාවිච්චි කරපු එකයි කරලා තියෙන්නෙ. එහෙනම් යම් කිසි ගැටලුවක් තියෙනවා. ඉහත කියන ධූරයට පත් වෙන්නෙ සියලු කෙලෙස් නැසු මාර්ගඵල ලාභියෙක් නෙමෙයි. සාමාන්‍ය මනුශ්‍යයෙක්. එසේ නම් ඒ ධූරයට පත්වන ඕනෑම අයෙකුගෙන් අඩුපාඩුකම් ඇති වෙන්න පුලුවන්.

අපි දැන් බිමට බැහැලා බලමු. මිනිස්සු ජීවත් වෙන්නෙ බොහෝම අමාරුවෙන්. ඒ අතර බේබිලාට සෙල්ලම් කරන්නට නයිට් රේස් තියනවා. ඒවට වියදම් කරන්නෙ කාගෙ සල්ලි ද? ඒවත් හරි කියමුකො. නැවු නැති වරාය, කුරුල්ලො බාන ගුවන්තොටුපල, විදුලිය ජනනය නොකරන බලාගාර, මේවා අධික පොලියට ණය වෙලා හදලා තියෙන්නෙ. නමුත් මේවගෙන් රටට ප්‍රතිලාභයක් තියෙනවද? කොහෙත්ම නැහැ.

විධායක ජනාධිපති ධූරයේ බලය සියලු ක්ෂේත්‍ර වලට පැතිරිලා ගොස් හමාරයි. මොකද අති බහුතරයක් බලවත් ක්ෂේත්‍ර වල තීරණාත්මක පත් කිරීම් ඉවත් කිරීම් තියෙන්නෙ ජනාධිපතිවරයා සතුවයි. ඒ අදාල පත් කිරීම් තමාට තනි කැමැත්තට සිදු කිරීමට බලය තියෙනවා. එසේ නම් අදාල ක්ෂේත්‍ර වල ස්වාධීන භාවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේම ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේවි කියලා කියන්නත් බැහැ. මොකද දේශපාලනය ගෑවුන තැනක් නිතැතින්ම අකාර්යක්ෂම වෙනවා.

ඉතාමත් කෙටියෙන් කියනවා නම් රටේ සියලු දෑ එක් පුද්ගලයෙක් වටා එකතු වෙනවා. එහිදී ඇති වෙන්නෙ පැරණි රාජාණ්ඩු ක්‍රමයකට සමාන රජු දේවත්වයට පත් වන, සමානාත්ම තාව වලපල්ලට යන ක්‍රමයක්.

එසේ නම් කළ යුත්තේ කුමක්ද?
මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් පොරොන්දු වූ පරිදි කතිකාවතක් ඇරඹිය යුතුයි, විධායකය සතු අත්තනෝමතික ලෙස රටට බලපාන තීන්දු ගැනීමේ හැකියාව සීමා කළ යුතුයි. එහි බලය පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි. ප්‍රමුඛ අවශ්‍යයතාව හඳුනාගන්න. අවශ්‍යයතාවය වෙනුවෙන් පෙළ ගැසෙන්න...

සංවේදී විධායක ජනාධිපතිවරයෙක් සිටී නම්, 2/3 ආණ්ඩුවක් තිබේ නම්, රටේ යුධ තත්වය අවසන් නම්, දැන් එළඹ ඇත්තේ ආණ්ඩුක්‍රම සං‍ශෝදනයකට සුදුසුම කාලය නොවේද?

0 අදහස්:

Post a Comment