Sunday, February 3, 2013



අද ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නෙ විදේශ රටවල සේවය කරන ගෘහ සේවිකාවන්. ඇත්තටම ඒක සතුටු වෙන්න කාරණාවක් ද? ඇත්තටම ඊට වඩා හොඳ දෙයක් ඇත්තෙම නැද්ද?

ඔය හැමදේටම කලින් හැදිය යුතු නමුත් හැදීමට ඉතාම අපහසු දෙයක් තියෙනවා. ඒ තමයි වෘත්තීය ගෞරවය. පුංචි කාලෙ ඉඳල දරුවෙක්ගෙ ඔලුව ඇතුලෙ පැල කරන්නෙ දොස්තර, ඉන්ජිනේරුවා, නීතීඥයා , ගුරුවරයා තමයි ගෞරවනීය වෘත්තීන්, අනිත් අය ඔක්කොම කාරයො. ඒ කියන්නෙ

පොලිස් කාරයා, බිස්නස් කාරයා, හමුදා කාරයා, මාලු කාරයා

මනුස්සයෙක්ගෙ හදවතින් අහලා බැලුවොත් ඇත්තටම වැටුප කියන‍්නෙ හැමදේම නෙමෙයි. ඒ අයට වෘත්තිය ගෞරවයක් ලැබුණොත් එයාලට මානසික තෘප්තියකුත් හිමි වෙනවා. එතනින් එහාට හැදෙන වටපිටාව තුල මීට වඩා දහස් ගුණයක් හොඳ පරිසරයක් ගොඩනැගේවි. ඕනෑම වෘත්තියක් කරන මනුස්සයෙකුට වෘත්තියෙන් බැහැර කාලය තුල අනිත් මිනිසුන් හා සමානාත්ම තාවක් තිබිය යුතුයි. රටක් දියුණු වෙන්න නම් ජාතීන් අතර සමානාත්ම තාවය ඇති කරන්න කලින් වෘත්තීය සමානාත්ම තාවය ඇති කරන්න වෙනවා.

ඔබ මේ රටේ පුරවැසියෙක් නම් ඔබ කල යුත්තේ ආණ්ඩුවෙන් දෙන අධ්‍යාපනය ලබාගෙන ඇඟ බේරගන්න මොකක් හරි ආණ්ඩුවෙ රස්සාවක් කරන එකද, එහෙම නැත්තන් මේ රටේ නිශ්පාදනයට දායක වෙන්න පුලුවන් විදිහෙ පුංචි හරි යමක් කරන එකද? ඔබ තනි තනියෙන් කුමක් කලත් මතක තියාගන්න ඕනෙ ඒ කරන දෙයින් ර‍ටේ සමස්ථ නිශ්පාදන ධාරාවට යම් කිසි දෙයක් එකතු වෙනවා. පුංචි පුංචි වතුර බිංදු එකතු වෙලයි ගඟක් හැදෙන්නෙ.

බොහෝ දෙනෙක්ගෙ මතය තමයි පිට රට ගිහින් මොනා කලත් කමක් නැ, මොකද කාටවත් පේන එකක්යැ. ඇයි ඒ තැන ලංකාවෙ හදන්න බැරි? මනුස්සයෙක් නැගිටින්න හදනකොට ඒකව බිමට දාලා පාගලා පාගලා දාන වටපිටාව වෙනස් කලොත් අර විදෙස් රටවල් වල යොදවන ශ්‍රමය ඉතාමත් ඵලදායී ලෙස ලංකාවේ යොදාගන්න පුලුවන්. මොකද ලංකාවේ පැය 08 වැඩ කරන්න ඉල්ලුවට මිනිස්සු ඒ රටවලට ගියාම සමහරවිට පැය 18ත් වැඩ කරන්න සූදානම්.

ඇයි අපිට අර විදෙස් රටවල දාඩිය කඳුලු හලන මිනිස්සුන්ගෙ ශ්‍රමය, ලංකාවේ අපනයන කර්මාන්තයක්  ආරම්භ කරලා මොකක් හරි පිට රටකට ඔබින භාණ්ඩයක් හදලා හොඳ කර්මාන්ත ශාලාවක් ඇතුලෙ යොදවන්න බැරි? ඒකෙන් ගේන විදේශ විනිමය අර වහල් සේවයට වඩා දහස් ගුණයක් වටිනවා නේද? විදේශ රටකට හොඳින් ගැලපෙන යමක් හොයලා නිශ්පාදනය කලොත් ඒ ලැබෙන ඉල්ලුමත් සමඟ ඉහතින් කියපු ශ්‍රමිකයන්ට විදේශ රටකදි ලබන වැටුපම ලංකාවෙදීත් උපයන්න පුලුවන් වේවි. ඊට වඩා 100 ගුණයක් ආරක්ෂා සහිතව.

එතකොට ඔබ කියයි වෘත්තීය ගරුත්වය ගැන උඩින් කියපු මමත් වෘත්තීය ගරුත්වය ලබා දෙන්නෙ නෑ කියලා. ගෘහ සේවය හරියාකාරව සිද්දවෙනවා නම් ඒකට කිසිම විරෝධයක් නැහැ නමුත් ගෘහ සේවිකාවන් විදේශ රටවල් වලදි විඳින අනන්ත දුක් දන්නෙ ඒ අයගෙ හිත් විතරයි. ඒ වගේම ඒකෙන් හරි පිලිවෙලට වැටුප් ‍නොලැබෙන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි විදෙස් ගත වුන 70%ට වඩා තමන්ගෙ පවුල් විනාස කරගෙන. දරුවො සීසීකඩ විසිරිලා අයාලේ යනවා. ඉතින් එතනින් එහාට ඔබ ලබාගන්නේ කුමක් ද? විදේශ රැකියා කිසිම විටෙක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නැහැ.

වෘත්තීයමය වශයෙන් වුවත් විදෙස් ගත වෙන 90%ක් තමන්ගෙ පවුල් පිටින් විදේශගත වෙනවා විනා කිසි දිනෙක තම වැටුප ලංකාවට එවන්නෙ නැහැ. බොහෝ විට ඒ අය විදේශ විනිමය ගේන්නෙ නැහැ.

අවසාන වශයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා හැම වෘත්තියකටම ගෞරවයක් දක්වන්න. ඔබට පුංචි දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවන්ටත් කියාදෙන්න හැම වෘත්තියකම තියෙන වටිනාකම. දරුවන්ගෙන් අහන්න "කුණු අදින මනුස්සයා දවස් දෙක තුනක් නාවොත් අපිට මොකද වෙන්නෙ" කියලා. වැඩිහිටියන් තුළ මේ මානසිකත්වය බොහෝ කාලයක් පැලවී ඇති නිසා වෙනස් කරන්නට අපහසු වේවි. නමුත් පුංචි දරුවන්ගෙන් පටන්ගන්න අන්න එතකොට කවදා හරි දවසක මේ රට පාරාදීසයක් කරන්න ඒ දරුවන්ට හැකි වේවි!

0 අදහස්:

Post a Comment