Saturday, October 5, 2013

Posted by Unknown |
අපි ඉන්නෙ අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුලුවන් ආර්ථික රටාවක. කාටවත් නිකන් උඩ බලාගෙන ඉන්න බැහැ. ඒ උනත් හදිස්සියෙ අත හොල්ලන්න බැරි තත්වයක් උදා උනොත්, එතකොට කාගෙන් හෝ යැපෙන්න සිද්ධ වෙනවා. ඔබෙන් මෙතෙක් යැපුන බිරිඳට දරුවන්ටත් කාගෙන් හෝ යැපෙන්න වෙනවා. සමහරවිට ඒ ඔබගේ ඥාතියෙක් විය හැකියි. නමුත් හිතලා බලන්න ඥාතියෙක්ගෙන් හැමදාමත් යැපෙන්න පුලුවන්ද? ඥාතීත් හැමදාම එක වගේ සලකයි ද?

මේකට හොඳම විසඳුම තමයි අත හොල්ලන්න පුලුවන් කාලේ හොඳ ඉතිරියක් කරලා තියන එක. බුදු රජානත් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා තරුණකාලයේ ධනය රැස් නොකලවුන් වයස් ගත වූ විට තැවෙමින් ජීවත් වෙනවා කියලා. ඔබ තරුණ කාලයේ ඉතිරි කළාය කියමු ඒත් ඔබ ඉතිරි කරන්න අවුරුදු 35දී පටන්ගත්තට හදිසියේ අවුරුදු 36 දී කරදරයක් උනොත් ඉදිරි ජීවිත කාලයට ඒ වසරක ඉතිරිය ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඉතිරි කලාට සමහරවිට වෙනත් මූල්‍ය අවශ්‍යයතා මතු වෙනකොට ඔබ ඒ මුදල ගන්න පෙළඹෙනවා.

ඔය සියල්ලටම විසඳුමක් ලෙස ජීවිත රක්ෂණයක් හඳුන්වන්න පුලුවන්. ඔබ ඉතිරි කරන මුල්ම දිනයේ සිටම ඔබේ රක්ෂණයට අදාල සම්පූර්ණ මුදලින්ම ඔබව ආරක්ෂිත වෙනවා. ඔබේ වෙනත් මූල්‍ය අවශ්‍යයතා මතු උනත් රක්ෂණ මුදල් ලබාගැනීමේ හැකියාවක් නැති නිසා එය අනිවාර්යෙන්ම ඉතිරි වෙනවා. ඔබ මිය ගියොත් හෝ සදාකාලික අකර්මන්‍ය තත්වයකට පත් උනොත් හෝ වෙනත් රෝගී තත්ව වලදී ඔබට හා ඔබෙන් යැපෙන්නන්ට මුළු රක්ෂණ වටිනාකම හෝ වියදම් ආවරණයක් ලැබෙනවා. රක්ෂිත කාලය අවසාන‍ වන තුරු ඔබට එසේ රක්ෂිත මුදල ගැනීමේ අවශ්‍යයතාවයක් මතු නොවුනහොත් ඔබට එම කාලය අවසානයේ ඔබ ගෙවූ මුදල් නැවත ප්‍රසාද දීමනා ද සහිතව ලබාගන්න පුලුවන්. ඔබේ ජීවිතයේ විශ්‍රාම අවධියට ඒ මුදල සැබැවින්ම හොඳ ශක්තියක් වේවි.


ඔබ නැතත් එතෙක් ඔබෙන් යැපුන ජීවත් වන්නන් ගැන සිතන්න!



Sunday, September 15, 2013

Posted by Unknown | File under : , ,
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ෆේස්බුක් ගිණුම නැති වීම එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකු අතට පත් වීම. මේ වෙනකොට ෆේස්බුක් හී ආරක්ෂාව ගොඩක් ඉහලයි ඒ වගේම ආරක්ෂක උපක්‍රම ගොඩක් හඳුන්වලා දීලා තියෙනවා. නමුත් ඉහත කියපු ප්‍රශ්ණයට ගොඩක් අය මුහුණ දෙන්නෙ ඒ ආරක්ෂක උපක්‍රම කලින් සකසාගෙන නොතිබිම නිසා. මේ කියන්න හදන්නේ ඒ වගේ ආරක්ෂක උපක්‍රම 10ක් ගැන. ඔබේ ගිණුමේ ආරක්ෂාව මෙයින් 100%ක් තහවුරු වෙනවා.



1. Facebook Mobile
ඔබේ ජංගම දුරකථනයෙන් F අකුර 32665 ට කෙටි පණිවිඩයක් ලෙස යොමු කරන්න. එවිට ඔබට සංඛේත සටහනක් ලැබේවි. උදාහරණ ලෙස 'hkrmn76k' වැනි සටහනක් ලැබේවි. එය ඔබේ වම් පස ඇති මෙනුවෙන් settings වලට පිවිස mobile හී ඇති Already received a confirmation code? යන තැනට යොදා  confirm කරන්න. එවිට ඔබේ දුරකතන අංකය ඇතුලත්ව ඇති බව ඉහලින් පෙන්වයි. දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ දවසකට සීමා සහිත ගානක් යෙදීමට ද, ඔබට මිතුරන් එවන පණිවිඩ දුරකථනයට කෙටි පණිවිඩයක් ලෙස ලැබෙන හෝ නොලැබෙන ලෙස සකසාගැනීමටද හැකියි. ෆේස්බුක් මොබයිල් ඇක්ටිව් කල පමණින් මිතුරන්ට ඔබේ දුරකථන අංකය දැනගැනීමට නොලැබෙන නිසා ඒ ගැන බිය විය යුතු නැත!



2. Set Username
settings මෙනුවේ general වෙත පිවිස ඔබේ Username එක සකසාගන්න. මෙය ඔබේ ගිණුමේ URL එක (facebook.com/gayanperera) ලෙස ඉදිරියට ක්‍රියාත්මක අතර ඔබට ගිණුමට ඇතුල් වීමේදී Email එක වෙනුවට ද මෙම Username එක භාවිතා කළ හැක. නිතරම ගිණුමට පිවිසීමේදී Username එක භාවිතා කරන්න එය වඩාත් ආරක්ෂාකාරී සහ පහසු වේවි.





3. Hide your Email
ඔබ ෆේස්බුක් ගිණුම සඳහා ‍භාවිතා කරන ඊමේල් ලිපිනය කිසිවෙකුට දැනගැනීමට තබන්නට එපා. හැකි නම් එය ඔබේ නමට අදාල නොවන ලෙස, අනුමාන කළ නොහැකි ලෙස සකසාගන්න. yahoo mail වඩාත් ආරක්ෂිතයි.  ඔබෙ ගිණුමේ Contact information හී එය දිස්වේ නම් එය Only me ලෙස සකසන්න.




4. Secure Browsing
‍settings මෙනුවේ security වෙත පිවිස එහි  Secure Browsing යන්න  enable කරන්න. එවිට ඔබ ගිණුමට පිවිසෙන විට URL එක Https://.... ලෙස දක්නට ලැබේවි. එයද ඔබේ ගිණුමේ ආරක්ෂාවට වැදගත් වේ.



5. Login notification
ඉහත මෙනුවේ ම Login notification ද enable කරන්න. එවිට ඔබේ ගිණුමට ඔබ භාවිතා කරන පරිඝණකය හැර වෙනත් පරිඝණකයකින් පිවිසියහොත් ඒ බව ඔබට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දේ. (පහතින් වැඩි දුරටත් විස්තර කරමි)

6. Login Approvals
මෙය ඉතාමත් වැදගත් ආරක්ෂක උපක්‍රමයක්. මෙය ද Enable කරන්න එවිට ඔබේ දුරකථනයට සංකේතයක් ලබා දේවි. එය ඇතුලත් කර Confirm කිරීමෙන් මෙය enable කරගත හැක. මෙය තරමක් සංකීර්ණ බවක් පෙනුනත් මෙමඟින් සිදුකරන්නේ නව පරිගණකයකින් පිවිසෙන සෑම අවස්ථාවකදීම ඒ ඔබමදැයි තහවුරු කරගැනීමයි. ඉන් පසු ඔබ වෙනත් පරිඝණකයකින් හෝ උපාංගයකින් ෆේස්බුක් ලොග් වන විට ඔබෙන් confirmation code ලෙස විමසාවි. ඒ සමඟම ඔබේ දුරකථනයට එම confirmation code එක ලැබේවි. එය ඇතුලත් කර සාමාන්‍ය පරිදි පිවිසිය හැක. ඉන් පසු එම උපාංගය Save කරගන්නදැයි ඔබෙන් විමසාවි නමුත් ඔබ යම් උපාංගයක් Save Device ලෙස යෙදුව‍හොත් නැවත එම උපාංගයෙන් ‍ලොග් වීමේදී ඉහත confirmation code එක අසන්නේ නැත. ඔබ නිතර භාවිතා කරන පරිගණකය දුරකථනය පමණක් Save කර තබාගැනීම වඩාත් ආරක්ෂාකාරී වේ.

*Get Codes
දුරකථනය නැති වුවහොත් ඔබට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න‍ වේවි කියලා හිතෙයි එහෙම වෙන්නෙ නෑ. මෙමඟින් ලබා දෙන කෝඩ්ස් ඔබ ආරක්ෂිත ස්ථානයක සටහන් කර තබාගන්න. යම් කිසි අවස්ථාවක ඔබේ දුරකථනය නැතිවීමකදී මෙම කෝඩ්ස් භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසිය හැක.



7. Code Generator
මෙය අදාලවන්නේ ඔබ සතුව Smart Phone එකක් තිබේ නම් පමණි. එහි ෆේස් බුක් ඇප් එක වෙත පිවිසිය පසු වම් පස මෙනුවේ Code Generator ලෙස තිබේ. එහි තප්පර කිහිපයකට වරක් confirmation code එකක් දිස්වේ. එය භාවිතා කිරීමෙන් ද ඔබට නව උපාංගයකින් පිවිසිය හැක.

8. Trusted Contacts
මේ සඳහා ඔබ දුරකථනයෙන් හෝ පෞද්ගලිකව හදිසි අවස්ථාවක සම්බන්ධ කරගත හැකි, නිතර ෆෙස්බුක් ගිණුම Deactivate නොකරන මිතුරන් පස් දෙනෙකු තෝරාගන්න. යොදාගන්නා මිතුරන් ඔබ වෙනත් තැනක සටහන් කර හෝ මතකයේ තබාගන්න.  එවිට ඔබට ඔබේ ගිණුමේ සියලුම තොරතුරු අහිමි උනත් ඔබ මෙම උපක්‍රමය යොදා තිබුනහොත් ගිණුම නැවත ලබාගත හැක. එසේ නැවත ගිණුම සක්‍රීය කරගැනීමට ඔබ යූසර් නේම් එක යොදා Forgot my password මඟින් ඇතුල්වීමට උත්සහ කළ යුතු අතර ඔබේ ඊමේල් ගිණුමද No longer access ලෙස යොදා ඉදිරියට යා යුතුය. ඉන් පසු ඔබව Trusted Contact මඟින් නැවත ගිණුම Recover කිරීමට පිවිසේවි. එහි ඔබ කලින් ඇතුලත් කල මිතුරන්ගේ නම් ඔබ යෙදිය යුතු අතර ඉන් පසු එම මිතුරන් Facebook.com/recover වෙත පිවිස එහි දැක් වෙන Code එක ඔබට පෞද්ගලිකව ලබාදිය යුතුයි. එම codes ඇතුලත් කිරීමට කවුලු තුනක් දැක් වෙන අතර ඔබට මිතුරන් පස් දෙනාගෙන් අවම වශයෙන් තිදෙනෙකු හෝ සම්බන්ධ කරගැනීමට හැකි වීම ප්‍රමාණවත්ය.



9. Recognized Devices
මෙයි ඔබ කලින් කියූ ලෙස Save Device ලෙස යොදා save කළ උපාංග පෙන්වන අතර ඔබ නොදන්නා පරිඝණකයක් ඇත් නම් ඒවා ඉවත් කරන්න. නමුත් හඳුනාගැනීමට ප්‍රදේශය භාවිතා කරන්න එපා ප්‍රදේශ නිවැරදිව දැක්වෙන්නෙ නැහැ. ‍හඳුනාගැනීමට පරිගණකයේ OS එක (XP/VISTA/7/8) හා බ්‍රවුසරය (Firefox/Chrome/Opera) ‍යොදාගන්න.

10. Active Sessions
මෙමඟින් ද ගිණුමට පිවිසිය ස්ථාන වල හා පරිගණකයන්ගේ තොරතුරු පෙන්වන අතර මේවාද හඳුනා නොගත් පරිගණක ඇත් නම් End Activity මඟින් ඉවත් කර දමන්න. නිතරම ඔබ පිවිසීමට එක් පරිගණකයක් හා එක් බ්‍රවුසරයක් යොදාගනී නම් මෙහිදී හඳුනාගැනීම වඩාත් පහසු වේ.

ඔයාගෙ ගිණුම වෙන කෙනෙක් අතට ගියාම ඔයාට ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා මොකද ඔයාගෙ යාලුවො ඔයාගේ පෞද්ගලික පණිවිඩ හැම දෙයක්ම ඒ පුද්ගලයට පරිහරණය කරන්න පුලුවන් වෙනවා. ඒ නිසා තමන්ගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂාකාරී ලෙස පාවිච්චි කරන්න. =) 

Friday, September 13, 2013

Posted by Unknown |
වර්ෂ 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්බ කරන ටී එම් ජයරත්නයන් සිය පළමු ගීතය පටිගත කරන්නේ 1970 දී. මෙසේ දශක ගණනාවක් පුරා ‍චිත්‍රපටයට ටෙලිනාට්‍යට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ටී එම් ජයරත්නයන් විවිධ සම්මානයන්ගෙන් ද පිදුම් ලැබ තිබෙනවා. මේ ටී එම් ජයරත්නයන්ගේ හිතට දැනුන ගීතයක්.




මා වාගේ ළඟින් උන් මා වාගේ
සිහි වේ දෝ කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කවුදෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියා සේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ
ඊයේ වෙන දෑතක පැටලී උන්නේ
ලංවී තව කුමරෙකු හා පියවර මැන්නේ
හෙට රෑ කොහෙ නවතීදැයි නැහැ දන්නේ
පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ


"ඔයා ළඟින් මං වගේ හිටපු තව කෙනෙක් ඔයාට මතකෙට එනවද? කවුද මම තරම් ඔයා ළඟ ආදරෙන් හිටියේ? මට හිතෙන්නේ කාගේ හරි බොරුවක් අහලා ඔයා මාත් එක්ක තරහා වෙලා. මට හිතාගන්න බෑ ඔයා ආයේ මගේ ළඟට එයිද කියලා. මම අද තනි වෙලා. මීට ටික දවසකට ඉස්සර මගේ ළඟ මගේ අතේ දැවටෙමින් හිටපු ඔයා දැන් වෙන කෙනෙක්ගේ තුරුලේ ඉන්නවා. හෙට ඔයා කොහේ නවතීද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම එකක් දන්නවා... හෙට තවත් සඳක් පායාවී, තවත් කුසුම් පිපේවී."

Thursday, September 12, 2013

Posted by Unknown |


උසස් පෙළ අවසන් කරාට පස්සෙ බොහෝම සුළු පිරිසක් රාජ්‍ය විශව විද්‍යාල වලට වරම් ලබනවා. ඉතිරි අයට මොකද වෙන්නෙ? ඒ අයට නිසි වැඩපිළිවලක් රටේ තියෙනවද? ඒ අවස්ථාව ලබාගත්තෙ පෞද්ගලික ආයතන. ඒ අය විවිධාකාරයේ සහතිකපත්‍ර පාඨමාලා හඳුන්වා දෙනවා අවසානයේ රටේ උසස් පෙළ ලියපු තරුණ පිරිසෙන් සාතිශ්‍ය බහුතරයකට එදා මෙදාතුර ලැබුණෙ පෞද්ගලික ආයතන වල පිහිට පමණයි. එසේත් නැත්තම් විදේශ අධ්‍යාපනයට යොමු වෙනවා. එහෙම විදෙස් ගත වෙලා වියදම් කරන්නේ අපේ රටේ මුදල් සමහරවිට අවසානයේ ඒ අය නැවත ලංකාවට එන්නෙත් නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැතිව ර‍ටේ මුදල් පිටතට ගලාගෙන යනවා. ඇත්තටම උසස් පෙළ අවසන් වෙලා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්නෙ ඇත්තටම රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යා යුතු අයමද? බොහෝ විට නැහැ. ඒ තේරීමේ වැරදි දෙකක් තියෙනවා.

1 - වර්ථමාන හැන්දෙන් පොවන උසස් පෙළ අධ්‍යාපනයෙන් ඉහලම ප්‍රතිපල ගන්න අයව ස්වඅධ්‍යනය මඟින් සහ විශ්ලේශනාත්මක අධ්‍යාපන රාමුවකට තෝරාගැනීම ගැලපීමක් නැහැ. එක්කෝ උසස් පෙලත් යම් කොටසක් ස්වඅධ්‍යනය සඳහා වෙන් කළ යුතුයි.

2 - උසස් පෙළ අවසන් කරපු සිසුන්ගෙන් සාතිශ්‍යය බහුතරයක් යන පෞද්ගලික අංශය කිසි සේත්ම නොමිලයේ අධ්‍යාපනය දෙන්නෙ නැහැ. ඔය අතර අඟ හිඟ කම් නිසා අධ්‍යාපනය කඩාකප්පල් වන දක්ෂයන් කී දෙනෙක් ඉන්නවා ද? මේ ගැටලුවට මුහුණ දීමට නම් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත තෝරාගැනීමේදී තවත් නිර්ණායකයක් තෝරාගත යුතුයි. එනම් සිසුවකුගේ ආර්ථික තත්වයයි. හොඳින් මුදල් තියෙන සිසුවෙක් ට නොමිලයේ රාජ්‍ය අධ්‍යාපනය ලබාදීම ඇත්තෙන්ම අසාධාරණයක්. මොකද ඒ හරහා දුප්පත් දරුවකුගේ අධ්‍යාපන අවස්ථාව නැති වෙලා තියෙන්න පුලුවන්.

ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට දක්ෂ නමුත් ආර්ථික හැකියාවෙන් දුර්වල පිරිස ඉලක්ක කිරීමෙන් රටේ අධ්‍යාපනය මීට වඩා පුළුල්ව පැතිර යනු ඇති. දැන් ඉතිරි වෙන්නෙ දක්ෂ ආර්ථික හැකියාවක් සහිත සහ සම්මත අධ්‍යාපනයේ දුර්වල පිරිස. ඒ අනුව එදා මෙදාතුර වැඩි බරක් උහුලපු පෞද්ගලික අංශයට නිසි ප්‍රමිතිකරණයක් හඳුන්වාදීලා ඒ අයටත් රාජ්‍ය විශ්වවිද්‍යාල මට්ටමේ ම උපාධි නිකුත් කිරීමේ හැකියාව ලබාදිය යුතුයි. ‍නමුත් ප්‍රමිතිය ඉතාමත් ඉහලින් සැලකිල්ලට ගත යුතුයි. ඔය අතර තවත් ආර්ථික අපහසුතා තියෙන සිසුන් සිටිය හැකියි. ඒ සඳහා රජයක් විදිහට සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයකම යම් කිසි ප්‍රතිශතයක් ශිෂ්‍යත්ව ලෙස නොමිලයේ හෝ වට්ටම් සහිතව ලබා දිය හැකියි.

දැන් ඊළඟට ඉතිරි වෙන්නෙ සම්මත අධ්‍යාපන රටාවෙන් ප්‍රතික්ෂේපිත සිසුන්. අන්න එහෙම සිසුන් තමයි ලෝකෙ වෙනස් කලේ. අන්න ඒ ප්‍රතික්ෂේපිතයි කියන සිසුන් තමයි ලෝකෙ අද මේ තියෙන තත්වෙට ගෙනාවෙ. ඒ නිසා ඒ සිසුන්ගේ තාක්ෂණික කාර්මික අංශයේ සැඟවුනු හැකියාවන් ඔප්නැංවිය හැකි පරිදි වෘත්තීය අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි.

එතකොට උසස් පෙළ අවසන් කරපු හැමෝටම උසස් අධ්‍යාපනයක් හෝ වෘත්තීය අධ්‍යාපනයක් ලැබිලා. කොහෙද කොතනද කාටද අසාධාරණයක් වෙන්නෙ? ඇයි මේ තරම් කුහක වෙන්නෙ? රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තේරෙන සිසුන් පිරිසට විතරද උසස් අධ්‍යාපනයක් හිමි විය යුත්තේ? මේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ගෙන්ම අය කරන බදු වලින් තමයි ඔය සියලු ආයතන නඩත්තු වෙන්නෙ. මේ රටේ ඉන්න සෑම අම්ම කෙනෙක්ගෙම දරුවෙක්ට සමාන උසස් අධ්‍යාපනයක් ලැබිය යුතු නැද්ද?

නිදහස් අධ්‍යාපනය මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. නිදහස් අධ්‍යාපනය තිබිය යුතුයි ඒ හැමෝටම නෙමෙයි මුදල් වැය කර ඉගෙනගත නොහැකි අයට. සහනාධාර දිය යුත්තේ ඇති හැකි නැති බැරි හැමෝටම නෙමෙයි නැති බැරි අයට පමණයි. අධ්‍යාපනය ප්‍රමිතියෙන් යුතුව දෙනවා නම් පෞද්ගලික වුවත් රාජ්‍ය වුවත් ගැටලුවක් ඇති වෙන්න බැහැ.

ඒ වගේම ආර්ථිකයක් විදිහට ගන්නකොට අපිට දැන් අපනයන ආර්ථිකයක් වෙත යන්න බැහැ. අපි හදන අපනයන අපිට වඩා ගුණාත්මකව අඩු මිලට වෙළඳපොලට ලැබෙනවා. අපිට දැන් පහසුවෙන් මාරු වෙන්න පුලුවන් සේවා ආර්ථිකයකටයි. ඒකෙදි අපේ රටේ පිහිටීමත් එක්ක බොහෝ විට වාසි ලබාගන්න පුලුවන්. ඒ අතර අධ්‍යාපනය කියන්නෙ අද ලෝකයේ හොඳම වෙළඳ භාණ්ඩයක්. ඒත් රටේ නිසි ප්‍රමිතියක් සහිත  අධ්‍යාපනික අවස්ථාවන් නැති නම් කිසි සේත්ම පිට රට සිසුන් ආකර්ශණය කරගන්න බැහැ.

රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භවීමත් සමඟ සියලුම ලාංකීය සිසුන්ට අධ්‍යාපන අවස්ථාව හිමි වෙනවා වගේම විදෙස් සිසුන්වත් මේ වෙත ආකර්ශණය කරගන්න පුලුවන්. මොකද ලෝකයේ වාර්ථා වෙන විදිහට අවම වියදමකින් ජීවත් වෙන්න පුලුවන් රටවල් අතර අප ඉදිරියෙන් ඉන්නවා. අන්න ඒ නිසා බොහෝ විට විදෙස් සිසුවෙක් උසස් අධ්‍යාපනය සඳහා ලංකාව තෝරාගැනීමේ සම්භාවිතාවක් තියෙනවා.

අපිට දැන් ඉස්සර වගේ තේ පොල් රබර් ඔලුව උඩ තියාගෙන කෑගහන්න බැහැ අද අපිට වැඩිම ආදායම ගේන්නෙ පිට රටවල වහල්කම් කරලා නොවිඳිනා දුක් විඳලා මේ රටේ දරුවන් අනාත කරමින් අම්මලා රට ගිහිල්ලා උපයන සල්ලි වලින්. ඒක ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒ නිසා අපි වහාම සේවා ආර්ථිකයක් කරා යොමු විය යුතුයි.

Monday, September 9, 2013

Posted by Unknown |


බොහෝ දෙනෙක්ගෙ මුවින් මේ දවස් වල පිට වෙන දෙයක් තමයි ජීවත් වෙන්න හරි අමාරුයි කියන එක. ඇත්ත බඩු මිල ගොඩක් ඉහල ගිහින්. එක්කෙනෙක්ට රැකියාවක් කරලා පවුලක් නඩත්තු කරන්න බැහැ. බොහෝ විට විවාහක නම් දෙන්නාටම රැකියා කරන්න වෙලා. ඉස්සර නම් කියන්නෙ ගෑණු ළමයි නම් ඉගෙන ගත්තෙ නැතත් කමක් නෑ කාට හරි දෙන්න පුලුවන්නෙ කියලා. ඒ නිසා ඒ කාලේ බො‍හෝ විට කාන්තාවන් රැකියාවක යෙදුනා අඩුයි. යෙදුනත් ඒ ගුරු වෘත්තියේ.

කාලයත් එක්ක ඇති උන ආර්ථීක අපහසුතා නිසා පවුලේ දෙදෙනාම රැකියාවක් කිරීමේ අවශ්‍යයතාවය මතු වෙනවා. අන්න ඒ නිසා අද පිරිමින් හා උරෙන් උර ගැටිලා අධ්‍යාපනය ලබලා රැකියා වෙළඳපොළට තරඟ කරනවා. අද රැකියා වෙළඳපොළ තරඟකාරී වෙලා. ඒ කාලෙ ගෙවල් වලට වෙලා අස්සයා පිට කුමාරයෙක් එනකල් බලන් හිටපු අය අද රැකියා පෝලිම් වල ඉන්නවා.

වතුරේ හරි පැත්තට පාවෙලා යන බෝට්ටුවක ඉන්න අය හබල් ගහන්න උනන්දු වෙන්නෙ නෑ. හැබැයි වැරදි පැත්තට ගහගෙන යනවා කියලා දැනුනම තමයි කට්ටියට හබල් මතක් වෙන්නෙ. ගෙදර තාත්තගෙ වැටුප හොඳටම ප්‍රමාණවත් නම් කීයට වත් අම්මා රස්සාවකට යන්නෙත් නෑ ළමයි රස්සාවකට උනන්දු වෙන්නෙත් නෑ. අන්න ඒ වගේ ආර්ථික අපහසුතා ඇති නොවුනා නම් රටේ සේවා නියුක්තිය ඉහල නංවන්න බැහැ. ඇති උන ආර්ථික අපහසුතා නොවෙන්න අද විදේශ රැකියා වලින් ලැබෙන ආදායමත් (රටේ ලොකුම තනි ආදායම) ඉතාමත් අඩු වෙන්න තිබුණා.

Friday, August 23, 2013

Posted by Unknown | File under :


"ඔයාගේ ඇහි පිහාටුවෙ මොනාද තියෙනවා
ඉන්න මම අයින් කරන්නම්..."

‍"කෝ ඉන්නකො ඉතින් දඟලන්නෙ නැතුව"

*උණුසුම් හාදුවක්*

"ඔය ඉතින් ඕකනෙ බොරු කියලා ළඟට එනකොට මම හිතුව"

"පොඩ්ඩි නංගි ඔයා මගේමයි ‍නේද?"

"ඔවු පහන් අයියෙ මම ඔයාගෙම විතරයි"

*පපුවට තුරුල්ව හිඳී*

"නැගිටිනවා ළමයො දැන් වෙලාව කීයද ?
පස්සපැත්තට එළිය වැටෙනකල් හොඳට නිදි"

අයියෝ හීනයක්ද දැක්කෙ :(

කමක් නෑ හීනෙකින් හරි ළඟට ආවනෙ...

ආදරයක් අහිමි උනාම ඒ දුක දරාගන්න ගොඩක්ම අමාරු වෙන්නෙ ඒ ආදරේ කවදාවත් නැති නො‍වේවී කියලා හිතාගෙන ආදරේ කරපු කෙනාට. මොනවා කරන්නද "අවාසනාවට ඇත්ත කතාවක්" මාත් ඒ වගේ ආදරේ කලානෙ. ගෑණූ ළමයි රවට්ටනවා කියලා කියන ‍ගොඩක් පිරිමි ළමයි පලවෙනි ආදරේ එක හිතින්ම කරපු අය. ඒ අයට ඒ ආදරේ නැති උනාම ආයෙ එක හිතින් ආදරේ කරන්න බෑ. කවදාවත්ම. පුංචි හරි අඩුවක් වෙනසක් තියෙනවා.

ගොඩක් වෙලාවට ප්‍රථම ප්‍රේමය වෙන්නෙ පාසල් ප්‍රේමයක්නෙ. ඉතින් පාසල් කාලෙ ගෙදරින් යැපීගෙන කිසිම බරක් නැතුව ආදරේ කරනවා. හැබැයි පාසල් ජිවිතයෙන් පස්සෙ පටන් ගන්නවා අවුරුදු 3 ඉඳන් 6ක් විතර වෙන සංක්‍රාන්ති සමය. උසස් අධ්‍යාපන කාලය, රැකියා මාරුවෙමින් ස්ථාවර වෙන්න හදන කාලය. ඒ කාලෙ ජීවිත වල ලොකූ උස් පහත් වීම් වෙනවා. එහෙම උස්පහත්වීම් වෙලා තමයි ඊළඟට ජීවිතය ස්ථාවර වෙන්නෙ. ඔහේ ගලාගෙන ආපු පාසල් ජීවිතෙන් පස්සෙ එන සංක්‍රාන්ති සමය ගැන අව‍බෝධයෙන් නොහිටියොත් ඒ උස් පහත් වීම් දරාගන්න බැරුව බොහෝ ආදර කතා අවසන් වෙනවා.

කවුරු කොහොම කිවුවත් බොහෝ විට ප්‍රථම ප්‍රේමය තරම් විවාහයට සුදුසු තවත් සහකාරයෙක් ජීවිතේ හමු වෙන්නෙ නැහැ. සහකරු සමඟ සාපේක්ෂව වඩා හොඳ භෞතික සම්පත් ලැබේවී හැබැයි මානුෂීය  සබඳතාවක් විදිහට ප්‍රථම ප්‍රේමය තරම් මිනිස් හදවතේ කිඳා බහින සබඳතාවයක් නැවත ඇති වෙන්නෙ නැහැ.


Wednesday, August 21, 2013

Posted by Unknown | File under :


පුතා : තාත්තෙ, පොඩි ප්‍රශ්ණයක් අහන්නද
පියා : ඇයි පුතා? අහන්න
පුතා : තාත්ත පැයකට සල්ලි කොච්චර හොයනවද?
පියා : ඇයි පුතා එහෙම ඇහුවෙ?
පුතා : අනේ කියන්නකො තාත්තෙ
පියා : රුපියල් 1000ක් විතර
පුතා : එහෙනම් තාත්තෙ මට රුපියල් 100ක් දෙන්න පුලුවන් ද?
පියා : ඒ මොකටද? නාස්ති කරන්න එපා පුතා මම කොච්චර මහන්සි වෙලාද සල්ලි හොයන්නෙ ඔයා මේ වැඩකට නැති සෙල්ලම් බඩු අරගෙන ඒ සල්ලි නාස්ති කරන්න හදන්නෙ. යන්නයි කිවුවෙව කාමරේට. ගිහින් නිදාගන්න.

(පුතා නිහඬව කාමරේට ගිහින් දොර වහගනියි)

පියා : පුතා ඔයා නිදිද?
පුතා : නෑ තාත්තෙ මම ඇහැරිලා ඉන්නෙ
පියා : ආ මෙන්න ඔයාගෙ රුපියල් 100
පුතා : ගොඩක් ස්තූතියි තාත්තෙ

(පුතා කොට්ටය යටින් තවත් මුදල් නෝට්ටු කිහිපයක් ගෙන ගණන් කරයි)

පියා : ඔයා සල්ලි ළඟ තියාගෙන ද තවත් මගෙන් සල්ලි ඉල්ලුවෙ? ඔයා නම් නරක ළමයෙක් පුතා ඔහොම කරන්න එපා තාත්තා දවසෙම මහන්සි වෙලා සල්ලි හොයන්නෙ

පුතා : ඔවු තාත්තෙ සල්ලි තිබුණා ඒත් මට ඕන ගානට ටිකක් මදි වෙලා තිබුණෙ. මෙන්න තාත්තෙ දැන් මෙතන රුපියල් 1000ක් තියෙනවා. මට තාත්තගෙන් පැයක් ගන්න පුලුවන් ද? හෙට විතරක් පැයක් කලින් ගෙදර එන්න තාත්තෙ මට තාත්තා එක්ක රෑ කෑම ගන්න ආසයි.

Monday, July 29, 2013

Posted by Unknown |


ඔබ දැන් හිතන්නෙ මොනවා ගැනද?

ඉස්සර කාලෙ උන දෙයක් ගැන?
අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන?

ඔබ ඉස්සර උන දෙයක් හිත හිත ඉන්නවා. ඒ දේ හොඳ දෙයක් උනත් නරක දෙයක් උනත් එසේ සිතීමෙන් ඔබේ හිතට සතුටක් දැනෙනවද? කිසියම් හෝ දෙයක් ලැබෙනවද? නැහැ කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. අතීතය ගැන සිහිපත් කරමින් කාලය ගෙවීම නිශ්ඵල කාර්යක්. මා මේ කියන්නේ අතීතයේ වරදක් උනාම ඒ දේ හිතලා වර්ථමානයේ ඒ වරද හදාගැනීම ගැන නොවෙයි. මා‍ මේ කියන්නේ නිරතුරුවම අතීතයේ සිදුවූ දෙයක් ගැන සිතමින් කල් පසු කිරීම ගැනයි. ඔබ තුල ඒකෙන් ඉතිරිවන්නේ ඊර්ශ්‍යාව, වෛරය, ක්‍රෝධය පමණයි. ඔබ ඊර්ශ්‍යා කලා කියලා වෛර කලා කියලා ක්‍රෝධ කලා කියලා අතීතයේ උන දේවල් වෙනස් වෙනවද? නැහැ එහෙම වෙන්නෙ නැහැ. සිදුවෙන්නේ ඔබේ හිත අසහනයට පත් වෙන එක විතරයි.

ඔබ අනාගතයේ වෙන්න තියෙන දෙයක් හිත හිත ඉන්නවා. වර්ථමානයේ ජිවිතය අමතක කරමින් අනාගතයේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම කරනවා යනුවෙන් හිතමින් කල් ගෙවීමෙන් ඔබට කිසිදා හොඳ අනාගතයක් ලැබෙන්නෙත් නැහැ. අවසානයේ ඔබේ බලාපො‍‍රොත්තු සුන් වීමෙන් ඔබට ඉතිරි වන්නේ දුකක් පමණයි. අනාගතය ගැන විශාල සිහින මාලිගා තනමින් ඒවායේ ජීවත් වීමෙන් ඔබට ඉතිරිවන්නේ පසුතැවිල්ලක්, දුකක් පමණයි.

එසේ නම් කළ යුත්තේ කුමක් ද?

අතිශය සරලයි. වර්ථමානයේ ජීවත් වන්න. වර්ථමානයේ ඔබ කරන දෙය හරියට කරන්න. ඔබ දැන් කරන්නේ රැකියාවක් නම් අදාල රැකියාවේ වැඩ කටයුතු පමණක් මනසේ තබාගන්න. ඔබ දැන් කරන්නේ අධ්‍යාපනය ලැබීම නම් ඊට අදාල කරුණු පමණක් මනසේ රඳවාගන්න. ඔබ දැන් කරන්නේ පා‍රේ ඇවිදීම නම්, බස් රථයක ගමන් කිරීම නම් ඒ ඒ අවස්ථා වල තමන් කරන කාර්ය පිලිබඳ පමණක් සිතන්න. නිරතුරුවම තමන් කරන කාර්යයෙහි සිහිය පවත්වාගන්න. ඔබේ හිතට එන සිතිවිලි ගැන අවධානයෙන් ඉන්න. ඔබට තරහක් එන විට එය හඳුනාගෙන පාලනය කරන්න. ඊර්ශ්‍යාවක් ඇතිවු විට එය හඳුනාගන්න.

"අතීතයේ ඔබෙන් සිදු වූ අතපසුවීම් ගැන සිතමින් දවස නොගෙවන්න
අතීතයේ සිදුවූ අතපසුවීම් මඟ හරවාගැනීමට අද කළ යුතු දේ ගැන පමණක් අද සිතන්න"

"අනාගතය සැලසුම් කරන්න. නමුත් ඒ සැලසුම ගැන සිතමින් දවස නොගෙවන්න
සැලසුමට අනුව ඔබට අද කළ යුතුව ඇති දේ නිවැරදිව කරන අයුරු පමණක් අද සිතන්න"

ඒත් ඔය කිවුවට ඕක කරන්න පුලුවන් වැඩක් ද?

ඔබ අද මේක කරන්න පටන්ගත්තා කියලා අද රෑ වෙනකොට මේක හරියටම කරන්න හැකි වෙන්නෙ නැහැ. ඔබ නිරන්තරයෙන් උත්සහ කරන්න. එවිට දින 25 පමණ යනකොට මේක ඔබ හිතා මතා කරන්න අවශ්‍යය නැහැ. ඔබට මේක පුරුද්දක් විදිහට සිද්ධ වෙනවා.

මෙහෙම කලා කියලා ලැබෙන්නෙ මොනවද?

1 - ඔබට වර්ථමානයේ දුකක් දැනුනා නම් හොඳට සිහි කරන්න අනිවාර්යෙන්ම ඒ අතීතයේ සිදුවූ යමක් ගැන සිතීම නිසා වෙන්න පුලුවන්. නැති නම් අතීතයේ යමක් වර්ථමානයට සංසන්දනය කිරීම නිසා වෙන්න පුලුවන්. ඔබ අතීතය ගැන නොසිතන නිසා ඔබේ සිතට දුකක් ඇති වීම බොහොම අඩුයි. එහෙමත් නැති නම් අනාග‍තයේ සිදුවේවි යැයි හිතපු දෙයක් සිද්ධ නොවීම නිසා වෙන්න පුලුවන්. ඉතින් ඔබ අනාගතය ගැනත් නොසිතන කෙනෙක් නිසා ඔබට දුකක් අත් වෙන්නෙ නෑ.

2 - ඔබ වර්ථමානයේ කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමු වෙන නිසා ඔබ කරන්නේ මොකද්ද ඒක ඉතාමත් සාර්ථක ලෙස අවසන් කරන්න පුලුවන් වෙනවා. ඕනෑම වැඩකට ඔබේ පූර්ණ අවධානය යොමු කිරිමට හැකි නිසා ඔබේ හැකියාව ශක්තිය ඉතාමත් හොඳින් ප්‍ර‍යෝජනයට ගන්න පුලුවන් වෙනවා.

3 - ඔබ ඵලක් නැති දෑ සිතීමෙන් වැලකීම නිසා ඔබට දවසේ බොහෝ කාලයක් ඉතිරි වෙනවා. ඉතින් ඔබට ඒ කාලය තවත් වැඩකට යොදවන්න හැකි වෙනවා. එම කාලය ආගම දහම වෙනුවෙන් කැප කරන්න පුලුවන් නම් ඔබේ ජීවිතයට වඩාත් හොඳ අධ්‍යාත්මික දියුණුවකුත් එයින් අත් වෙනවා.

4 - අතීතය, අනාගතය ගැන සිතමින් ඔබ මෙතෙක් වර්ථමාන ජිවිතයක් නැතිව සිටියා නම් මින් ඉදිරියට ඔබට සැබෑ ජීවිතයක් හිමි වනු ඇත. ඔබ ජිවත් වන ඔබ ඔබට දැනෙනු ඇත.


ජීවිතය අර්ථවත් කරගන්න,
කියවන්න... ප්‍රායෝගිකව ජීවිතයට යොදාගන්න...

Sunday, July 28, 2013

Posted by Unknown |


පහත දක්වලා තියෙන්නෙ බුදුන් සරණ යන ශ්‍රාවක සංඝ්‍යා වහන්සේලාගේ ගුණ කියවෙන ගාථාවයි. අද වන විට භික්ෂුවගේ කාර්ය භාරය කුමක් දැයි බොහෝ දෙනෙක් වාද විවාද කරමින් ඉන්නවා. වැඩි දුර යන්න දෙයක් නැහැ. පහත කහ පැහැයෙන් දක්වලා තියෙන ගුණ භික්ෂුවගේ තියෙනවා දැයි හොඳින් බලන්න. එසේ නම් උන් වහන්සේ සැබෑ භික්ෂුවකි. එසේම එම භික්ෂුව ගිහියන්ට පිං කෙතක් වේ, දාන මාන ආදිය පිලිගැනීමට සුදුසු වේ. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වේ. නමුත් වර්ථමාන බහුතරයක් භික්ෂු චරිත පහත ගුණයන්ගෙන් යුක්ත දැයි ඔබම සිතා බලන්න...

1. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යහපත් මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් සුපටිපන්න නම් වන සේක.

2. උජුපටිපන්නෝ භවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධිප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඍජු මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් උජුපටිපන්න නම් වන සේක.

3. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව් නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්‍ය මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් ඤායපටිපන්න නම් වන සේක.

4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිවැරැදි මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

- යදිදං චත්තාරි පුරිස යුගානි - සෝතාපන්න පැවිදි ශ්‍රාවක සකදාගාමී පැවිදි ශ්‍රාවක අනාගාමී පැවිදි ශ්‍රාවක අරිහත් පැවිදි ශ්‍රාවක යැයි පුරිස යුගල වශයෙන් සිව් නමක් වන හෙයින් යදිදං චත්තාරි පුරිස යුගානි නම් වන සේක.

- අට්ඨ පුරිස පුග්ගලා - සෝතාපන්න මගෙහි පැවිදි ශ්‍රාවක, සෝතාපන්න ඵලයෙහි පැවිදි ශ්‍රාවක, සකදාගාමී මගෙහි පැවිදි ශ්‍රාවක, සකදාගාමී ඵලයෙහි පැවිදි ශ්‍රාවක, අනාගාමී මගෙහි පැවිදි ශ්‍රාවක, අනාගාමී ඵලයෙහි පැවිදි ශ්‍රාවක, අරිහත් මගෙහි පැවිදි ශ්‍රාවක, අරිහත් ඵලයෙහි පැවිදි ශ්‍රාවක, යැයි පුරිස පුද්ගල වශයෙන් අට නමක් වන හෙයින් අට්ඨ පුරිස පුග්ගල නම් වන සේක.

5. ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ -  පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා සැදැහැවතුන්ගේ පූජාවන් පිළිගැන්වීමට ද, පිළිගැනීමටද අතිශයින්ම සුදුසු වන හෙයින් ආහුනෙය්‍ය නම් වන සේක.

6. ඒස භගවතෝ සාවක සංඝෝ පාහුනෙය්‍යෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ගේ ආගන්තුක සත්කාර පිළිගැන්වීමටද, පිළිගැනීමටද අතිශයින්ම් සුදුසු වන හෙයින් පාහුනෙය්‍ය නම් වන සේක.

7. ඒස භගවතෝ සාවක සංඝෝ දක්ඛිනෙය්‍යෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ගේ උතුම්ම පූජාවන් පිළිගැන්වීමට ද, පිළිගැනීමටද අතිශයින්ම සුදුසු වන හෙයින් දක්ඛිනෙය්‍ය නම් වන සේක.

8. ඒස භගවතෝ සාවක සංඝෝ අඤ්ජලිකරණියෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන් දොහොත් මුදුන් තබා කරන වන්දනාවන්ට අතිශයින්ම සුදුසු වන හෙයින් අඤ්ජලි කරණීය නම් වන සේක.

9. ඒස භගවතෝ සාවක සංඝෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ට පිං උපදවන උතුම් පිං කෙතක් වන හෙයින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නම් වන සේක.

මෙහි එන සියලු ලක්ෂණ එක් වගන්තියකට කැටි කලොත්, භික්ෂුව මාර්ගඵල ලාබී ‍විය යුතුය. එසේත් නැති නම් මාර්ගඵල ලබාගැනීමේ මාර්ගයේ ගමන් කරමින් සිටිය යුතුය. 

අඳුරෙන් මිදෙන්න...

Friday, July 26, 2013

Posted by Unknown | File under : ,


බදු පැනවීමේ මූලික අරමුණු මොනවා ද?
- සමාජයට අහිතකර භාණ්ඩ භාවිතය අධෛර්‍යමත් කිරීම
- සමාජ ශුභසාධනය

අහිතකර භාණ්ඩ මත බදු පැනවීමෙන් විතරක් සමාජ ශුභසාධනයට කරන්න බැහැ. ඒ මුදල් ප්‍රමාණවත් මදි. ඒ නිසා සෘජු බදු එහෙමත් නැත්නම් ආදායම් බදු වෙත රජයක් යොමු වෙනවා. ඒකත් ප්‍රමාණවත් නොවු තැන අත්‍යාවශ්‍යය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ මත බදු පැනවීමක් කරනවා. අද ලංකාව එතනිනුත් ඉදිරියට ගිහින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට පවා අධික බදු ප්‍රතිශතයක් ඇතුලත් කරලා තියෙනවා.

පරිභෝජන භාණ්ඩ මත බදු පැනවීමේ හොඳ පැත්තක් තියෙනවා, ඒ තමයි අනාගතය සඳහා ආයෝජන කරන්න මුදල් ඉතිරි වෙනවා. ඕක මෙහෙම පැහැදිලි කරගමු මම ව්‍යාපාරයක් කරනවා මම ඒ එන ආදායම සම්පූර්ණයෙන් පෞද්ගලික පරිභෝජනයට නොකිරීම නිසා යම් මුදලක් ව්‍යාපාරය තුල නැවත ආයෝජනය වෙනවා. ඒක නිසා අනාගතයේ මගේ ව්‍යාපාරය ප්‍රසාරණය වෙනවා.

නමුත් ඒකෙ අවාසිදායක පැත්ත තමයි ජනතාවගේ වර්ථමාන ජීවන තත්වය පහත වැටීම. ඒ කිවුවෙ හෙට දවස වෙනුවෙන් අද දවස කැප කිරීමක් වගේ දෙයක්. නමුත් එහි නියම ප්‍රතිලාභ ලැබෙන්න නම් අනිවාර්යෙන්ම ඉහත කියපු ඉතිරි වන මුදල් ඵලදායී මාර්ග වල ආයෝජනය විය යුතුයි.

අපිට සමස්ථ බදු පද්ධතියම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද රටේ පැවැත්මට, දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න බෙහෙත් ටික දෙන්න පාරවල් ටික හදන්න සමෘද්ධිය දෙන්න රජ‍යේ සේවකයන්ට වැටුප් ගෙවන්න හැම දේටම ඒ ආදායම වැදගත් වෙනවා. මොකද තවමත් ලංකාවේ ලාභ ලබන ශක්තිමත් රජයේ ව්‍යාපාර බිහි වෙලා නැහැ. ඒක අපේ රජයේ දුර්වල කමක් ම නෙමෙයි ඒ දුර්වල කම ලෝකයේ බොහෝ රටවලට පොදුයි. රාජ්‍ය මැදිහත්වීමෙන් කාර්යක්ෂමතාව පහත වැටීම වලක්වන්න බොහොම අසීරුයි.

ආදායම් ලැබීම සඳහා ලංකාවේ බොහෝ විට භාවිතා කරන්නෙ වක්‍ර බදු. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවා මත පනවන බදු. ඒ කියන්නෙ ඔබ මම මේ හැමෝම භාණ්ඩ භාවිතා කරනවා නම් ඒකට බදු ගෙවන්න වෙනවා. නමුත් දියුණු රටවල වැඩි ප්‍රතිශතයක් බදු අය කරන්නෙ සෘජු බදු. උදාහරණ ආදායම් බදු. අඩු ආදායම් ලාභීන් ඒ බද්දෙන් නිදහස් වෙනවා ඒ වගේම ආදායම් වැඩි අයට වැඩි බදු ගෙවන්න වෙනවා. මේ ක්‍රමය මඟින් බොහෝ විට සමාජයේ ආදායම් විශමතාව පාලනය වෙනවා. අපේ රටේ සෘජු බදු නිවැරදිව ක්‍රියාත්මක නොවීමත් රටේ ආදායම් විශමතාවය ඉහල යන්න හේතු වෙලා තියෙනවා.


මේක සරලවම කිවුවොත් බදු - සහනාධාර ක්‍රමයකින් වෙන්න ඕනෙ ඇති තැනින් නැති තැනට මුදල් ගලා යාමයි. පීඩිත ජනතාවටත් තමන්ගෙ අවම ජිවන මට්ටම පවත්වාගන්න අවශ්‍යය ආදායම ලබාදීමයි. ඒකට හැමෝගෙන්ම බදු අරන් හැමෝටම ශුභසාධනය දීලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නෙ පද්ධතිය අකාර්යක්ෂම වෙලා අරමුණු වලින් බැහැර වෙන එකයි. බදු අය කිරීමේදී අනුක්‍රමිකව ඉහල අදායම් ලබන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ඉලක්ක කල යුතුයි. එමෙන්ම සහනාධාර සැපයීමේදී හැකි තාක් දිලිඳු ජනතාව ම ඉලක්ක කොට ඒ අයගේ ජිවන තත්වය නගා සිටුවිය යුතුයි. 

එමෙන්ම එම බදු ප්‍රතිශතය ජනතාව පීඩාවට පත් කරන දරාගත නොහැකි බදු ප්‍රතිශතයක් නොවිය යුතුයි. එසේ වීමෙන් ජනතාව බදු ගෙවීම පැහැර හරින්නට උත්සහ දරනු ඇත. එබැවින් බදු පද්ධතිය හැසිරවීමේ දී ඉතාමත් කල්පනාකාරිව එය කළ යුතුය. මා දකින ආකාරයට මෙම ක්‍රමය අකාර්යක්ෂම වෙන්න සෘජුවම බලපාලා තියෙන්නෙ දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපයයි. මොකද ඒ අය වැඩ කරන්නෙ ඡන්ද ඉලක්ක කරගෙන පටු අරමුණු හිසින් දරාගෙන නිසා දිගු කාලීන සංවර්ධන ඉලක්ක වලින් බැහැර වෙලා හැම දේටම පැලැස්තර විසඳුම් සැපයීමක් විතරයි සිදු වෙන්නෙ. අඩු පාඩුකම් තිබුණත් වර්තමාන රජය බොහෝ විට දිගුකාලීන ඉලක්ක වලට යොමු වෙලා තියෙන එක අවංකවම අගය කළ යුතුයි.

අපේ රටට ගැලපෙන බදු ක්‍රමයක් කෙසේ සකස් විය යුතු ද...?

භාණ්ඩ හා සේවා මත බදු
එදිනෙදා අවම ජීවන තත්වය පවත්වාගැනීමට අවශ්‍යය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ මත බදු පැනවිය යුතුය. අනුක්‍රමිකව සුඛෝපභෝගී භාණ්ඩ දක්වා යන විට බදු ප්‍රතිශතය වැඩි විය යුතුය. අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු වලන් නිදහස් විය යුත්තේ රටේ සියලුම දෙනාට අවම ජිවන තත්වය හෝ පවත්වාගැනීමට අවසථාව සැලසිය යුතු බැවිනි.

ආදායම් බදු
අඩු ආදායම් ලාබී සිමාවෙන් ඉහල ආදායම් සීමාවක් යොදවා ඉන් ඉහල ආදායම් ලබන්නන් හට අනුක්‍රමිකව වැඩි බදු ප්‍රතිශතයක් අය කළ යුතුය. මෙමඟින් ලැබෙන ආදායම සමාජ ශුභ සාධනයට හා දිලිඳු ජනතාවට සහනාධාර සැපයීමට යොදාගැනීමෙන් ආදායම් විශමතාවය පාලනය කළ හැක.

ආනායනික භාණ්ඩ මත බදු
යම් දේශීය නිශ්පාදනයක් වෙළඳපොලේ පවතින සමයක නම් අදාල නිශ්පාදනය අඩු මිලට ආනයනය කිරීම නිසා දේශීය නිශ්පාදකයා බිඳ වැටීම වැලැක්වීමට අදාල අනායනික භාණ්ඩ මත බදු පනවා දේශීය නිශ්පාදකයාගේ මිලට මදක් ඉහල මිලකට ගෙන ආ යුතුය. නමුත් අත්‍යාවශ්‍යය භාණ්ඩයක් නම් අදාල භාණ්ඩයේ මිල ඉහල යාමේ ප්‍රවනතාවයක් දුටුවොත් වහාම බදු ප්‍රතිශත වෙනස් කර මිල පාලනය කල යුතුය.

සුඛෝපභෝගී භාණ්ඩයක් නම් ආනයනය කිරීමේදී බදු අය කළ යුතුම වේ.

අධෛර්යමත් කළ යුතු භාණ්ඩ හා සේවා මත බදු
දුම්වැටි මත් පැන් වැනි සමාජයට අහිතකර භාණ්ඩ සඳහා ඉතා විශාල බදු ප්‍රතිශතයක් අය කරමින් හෝ මේවා භාවිතය පාලනය කළ යුතුයි. මන්ද යත් මේ භාණ්ඩ පරිභෝජනය කිරීම නිසා රෝගී වන ජනතාවට ප්‍රතිකාර කිරීමට වියදම දැරීමට සිදුවන්නේ ද රජයට බැවිනි.

බදු අයකිරිමේ අරමුණූ ඉටු වීමට නම් අය කරන බදු මුදල් සමාජ ශුභසාධනය සඳහා යෙදවිය යුතු අතරම අනාගතය කෙරෙහි ආයෝජනය සඳහා ද යොමු කළ යුතු වේ. නමුත් අද නම් රාජ්‍ය ආදායම අවම වශයෙන් එදිනෙදා වියදම් පියවාගන්න වත් ප්‍රමාණවත් නැහැ. නමුත් ඒකට පිලියමක් විදිහට බදු වැඩි කරනවා නම් එයින් ජනතාවට අවම ජීවන මට්ටමත් අහිමි වෙන්න පුලුවනන්.

ඒකට හොඳම විසඳුම වැඩි වශයෙන් ආදායම් බදු වෙත යොමු විය යුතුය, අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු වලින් නිදහක් කොට අවශ්‍යය විටෙක සහනාධාර සපයා මිල පාලනය කළ යුතුය. එමෙන්ම දූෂණ වංචා නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කරගැනීමට උත්සහ කළ යුතුය. ජනතාවට අත්‍යාවශ්‍යය සේවාවක් නෙමෙයි නම් ඒ කියන්නෙ ලංගම, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් හැර අනෙක් ඒවා පෞද්ගලික අංශයට පැවරීමෙන් ලාභ ලබන තත්වයට පත් කරගත හැක. හැකි තාක් දේශපාලන මැදිහත් වීම් රාජ්‍ය ආයතන වලින් ඇත් කරන්න පුලුවන් නම් රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව රැකගන්න පුලුවන්.

සංවාදයට විවෘත්තයි...

Saturday, July 20, 2013

Posted by Unknown |

ඔයා ළඟ නැති දේවල් ගැන හිතලා ඔයා ජිවිතේ ‍ගොඩක් දුක් වෙලා ඇති. හොඳට හිතලා බැලුවොත් ඔයා ඒ හැම වෙලාවකම දුක් වෙලා තියෙන්නෙ අනුන් ළඟ තියෙන තමන්ට නැති දෙයක් ගැන හිතලා. ඔයා ගමේ ලොකුම සල්ලි කාරයා උනත් ඔයා දුක් වෙනවා ඊළඟට පලාතෙම ලොකුම සල්ලි කාරයා ගැන හිතලා. ඊට පස්සෙ එතනට ආවොත් ඔයා දුක් වෙනවා රටේම ලොකුම සල්ලි කාරයා ගැන හිතලා. මේක කවදාවත් ඉවර වෙන්නෙ නැහැ. හැමදාමත් අනුන් ළඟ තියෙන දේ තමන්ටත් ලබාගැනීමේ තරඟයක අපි හැමෝම දුවනවා. 

ඔයා හිතන්න ඔයා ළඟ රුපියල් කෝටි සියක් තියෙනවා, ඒක සතුටක් ද? නෑ ඔයාට ඊට පස්සෙ රෑට නින්දක් නෑ රැයක් දවාලක් නැතුව කල්පනා කරනවා අනේ මේ සල්ලි වලට මොකද කරන්නෙ, මේ සල්ලි මට නැති වෙයිද, ‍හොරු ගනියිද, ආයෝජනයක් කරලා තියෙනවා නම් ඒකෙන් පාඩු වෙයිද ඔය වගේ කෝටියක් සල්ලිත් එක්ක කෝටියක් ප්‍රශ්ණත් ඔලුවට එනවා. නෑදැයො වැඩි වෙනවා හොර හතුරො වැඩි වෙනවා ඔය වගේ කරදර ගොඩයි. එක එක්කෙනා ණයට සල්ලි ඉල්ලගෙන එනකොට ඒවා දෙන්නයි, සල්ලි අරන් මඟ අරිනකොට ඒවා පස්සෙ ගිහින් හොයන්නයි. වැඩ ගොඩයි. 

ඒත් ඔයා ළඟ සල්ලි තියෙන්නෙ අද දවසෙ වියදමට විතරක් නම්, ඔයාට ඔය මොන ප්‍රශ්ණයක් වත් තියෙනවද? නැහැ නේද? ඔයාට සල්ලි තියෙන මිනිස්සු දිහා බැලුවම පේන්නෙ ඒ අය‍ගෙන් සතුට උතුරනවා වගේ. හැබැයි ‍මුදලින් පොහොසත් බොහෝ පවුල් සතුටින් පොහොසත් නැහැ. සල්ලි වැඩි වීම හින්දම පවුල් ජිවිත විනාස වෙලා, බීමට ඇබ්බැහි වෙලා. දරුවො රෑ ගානෙ බීගෙන ක්ලබ් යනකොට දෙමවුපියන්ට දැනෙන වේදනාව හම්බකරපු සල්ලි වලට ගන්න බැහැ.

හිතන්න ඔයා ළඟ රුපියල් කෝටියක බඩු තියෙනවා නම් ඒ කියන්නෙ ඔයාට කවදා හරි කෝටියක බඩු නැති වෙනවා. ඔයා ළඟ රුපියල් ලක්ෂයක බඩු තිබ්බා නම් ඔයාට කවදා හරි රුපියල් ලක්ෂයක බඩු නැති වෙනවා.ඔයා ළඟ තියෙන්නෙ රුපියල් දාහයි නම්. ඔයාට නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නෙ රුපියල් දාහයි නේද? බලන්න ඔබට තියෙන නැති කමම කොයි තරම් සතුටක් ද කියලා. 

ඔයාට කාර් එකක් නැතුව ඇති, ඉතින් හොඳයිනෙ කාර් එකක් තිබ්බා නම් ඕකට කොච්චර වියදම් යනවද නඩත්තු කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද ඔයා යන්නෙ බස් එකේ නම් ඔය කරදර කිසි දෙයක් නැ. කවදාවත් තමන් ළඟ තියෙන දෑ, තමන්ගේ හැකියාවන් අනිත් අය එක්ක සසඳන්න එපා. එහෙම කලොත් කවදාවත් ඔබ ජීවිතයේ මේ මොහොතේ සතුට විඳින්නෙ නෑ. ඔබ එතකොට හැමදාමත් අනාගතයේ සතුටක් ගැන හීන මවමින් වර්ථමානයේ මළ කඳක් මෙන් සිටිවි. 

වර්ථමානයේ සතුටින් ඉන්න නම් වර්ථමානයේ ජීවත් වෙන්න

මේ හැම දෙයක් ඇතුලෙම තියෙන්නෙ මේකයි, ඔයා ළඟට ගන්න හැම දෙයක්ම ඇතුලෙ ඒ දේ නැති වීමේ දුකත් නොමිලේම අන්තර්ගත වෙනවා. ඔයා ළඟට ගන්න හැම දෙයක්ම පිටිපස්සෙ ඒ දේ ඔයාගෙන් ඈත් ‍වීමක් ලියලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න හැම වෙලේම යමක් ලබා ගන්න මහන්සි වෙනකොට හිතන්න මේ දේ මට කවදා හරි නැති වෙනවා කියලා. තමන්ට සෑහෙන පමණට පමණක් උපයන්න. මුදලෙන් කොටසක් ඉතිරි කරන්න, කොටසක් පරිභෝජනය කරන්න, කොටසක් කුමක් හෝ ආදායම් මාර්ගයක ආයෝජනය කරන්න. 

ලෝකෙ ලොකුම සල්ලි කාරයා උනාම ඒ තමයි ලෝකෙ ලොකුම සතුට  කියලා හිතනවා නම් ඒක ඉතාමත් වැරදියි. ලෝකෙ ලොකුම සල්ලි කාරයෙක් උන බිල් ගේට්ස් පුංචි දරුවන්ට උදවු කරන්නෙ අහින්සක පවුල් වලට ආධාර කරන්නෙ මුදලට ගන්න බැරි උන සතුට හොයාගන්න. ඒ තැනට ආපු මනුස්සයා තේරුම් අරගන්නවා මේක නෙමෙයි සැබෑ සතුට මීට එහා මුදලට ගන්න බැරි සතුටක් මේ ලෝකෙ තියෙනවා කියලා.

Monday, July 1, 2013

Posted by Unknown | File under : ,
පෞද්ගලිකව මුහුණ දුන්න උන කාරණයක් නිසා මේ දේ ලියන්න හිතුවෙ. අපිට ජීවිතේ සමහර දේවල් අපි නොහිතන වෙලාවට නැති වෙනවා. ඒ දේවල් නැති උනාම අපිට දුක හිතෙනවා. ඒ ඇති වෙන දුක ගැන සහ ඒ දුක නැති කරලා හැමදාටම සතුටින් ඉන්න හැටි ගැනයි මේ කියන්නෙ. මුලින්ම කියන්නෙ මේ දේවල් මමත් 100%ක් ළඟාකරගෙන නැහැ නමුත් ළඟාකරගන්නට උත්සහ කරනවා. 

මම මේ මුලින්ම පෙන්නලා තියෙන්නෙ අපේ ජීවිතේ ගලා යන පාර. ඔය 'ඔබ' කියලා තියෙන බෝලෙ තමයි ඔයාව පෙන්නන්නෙ. අපිට ඔය පාර යනකොට දෙපැත්තෙන් ඕනම පැත්තකට බර වෙලා යන්න පුලුවන්. හැම මනුස්සයෙක්ම වගේ ඔබත් කැමති ඇති ඔය සතුට කියන පැත්තට කොහොම හරි බර වෙලා ඉස්සරහට යන්න. හරි ඉදිරි පැහැදිලි කිරීමට ඊළඟ රූපයට යමු. 

මේ රූපෙන් පෙන්නන්නෙ ඔය පාර හරස්කඩක්. අපිට ඔය පාට පාට වලින් පෙන්නන ඕනම ස්ථානයක ඉඳන් ඉදිරියට යන්න පුලුවන්. ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නෙ ඔය රතුපාට තියෙන තැනින් ඉදිරියට යන්න. මොකද සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක් කැමතියි ගොඩාක් සතුටින් ඉන්න. 



හැබැයි ඔය කියන තැන තියෙන්නෙ ටිකක් ඉහලින්. ඒ කියන්නෙ ඔබට නිරායාසයෙන් ඒ තැන‍ට යන්න බැහැ උත්සහ කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. දිවා රෑ නොබලා වැඩ කරන්න වෙනවා. ඒ හැමදේම කරලා තමයි ඔබ ඔය කියන සතුට ට ළං වෙන්නෙ.  ඔබ වෙහෙස වෙලා වෙහෙස වෙලා 'කහ' පාට තැනට ලං වෙනකොට ඔබ ඊළඟට 'තැඹිලි' පාට ට ලං වෙන්න උත්සහ දරනවා. ඊට පස්සෙ රතුපාටට, ඔය වගේ නිතරම සතුටෙන් ඔබ සෑහීමකට පත් වෙන්නෙ නැහැ. ඔබ ගෙයක් හැදුවොත් ඊළඟට වාහනයක්, ඊළඟට පූල් එකක්, ඊළඟට අතට පයට වැඩකාරයො, ඊළඟට තමන්ගෙ බලය වර්ධනය කරගන්න.... ඔය වගේ අනේක විද උවමනා පියවරෙන් පියවර ඔබට ඇති වෙනවා. හැබැයි ඔබ මොහොතක් හොඳින් හිතුවොත් පෙනෙයි මේ සතුට හොයාගෙන යන ගමනේ ඔබ යම් අවස්ථාවක විඩාවට පත් වෙනවා. 

ඔබ සිතුවත් නොසිතුවත් අර අමාරුවෙන් ඉහලට ගෙනියපු ජීවිතය යම් ‍මොහොතක ආපසු පහතට කඩා වැටෙන්න පුලුවන්. එහෙම වැටෙන මොහොතක ඔබ ස්වභාවයෙන් අත්දැක ඇති ආකාරයටම 'නිල්' පාට තැනින් නතර වෙන්නෙ නැහැ. ඉහලින් අරගෙන ආපු ශක්තියත් එක්කම කෙලින්ම ඇදිලා යන්නෙ දුක පැත්තට. ඔබ සතුට හොයාගෙන ඉහලට නගින සෑම අවස්ථාවකම ඔබ විසින්ම ඔබව දුකට තල්ලු කරන්න බලයක්, විභවයක් ලබා දෙනවා. 

ඔයා මොකක් හරි දෙයක් ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න සෑම අවස්ථාවකම ඔබ ඔබේ හිතට දුකක් දැනෙන්න අවධානමක් ලබාදෙනවා. ඔබට අහිමි උන බලාපොරොත්තු  නිසා ඔබ කොයි තරම් විඳවලා ඇති ද? ඔබ ලංකරගන්න උත්සහ කරපු දේවල් අහිමි වීම නිසා ඔබ කොයිතරම් දුක් විඳලා ඇත්ද? ඔබට මේ සියලු දුක් කරදර විඳින්න උනේ, මිරිඟුවක් පස්සෙ දුවලා විඩාවට පත් වෙන්න උනේ ඇයි? ඔබ සතුට සොයන්න ගියපු නිසා. ඔබ මේක ම‍ගේ, එයා මගේ, කිය කිය සතුට ළං කරගන්න උත්සහ කරපු නිසා.

එහෙනම් ජිවිතේ ඉදිරියට දුකක්‍ නොවිඳින්න, දුකක් නැති වීමේ සතුට විඳින්න ඔයා කැමති නම් ජීවිතේ සතුට හොයනවා වෙනුවට, අනාගතය වෙනුවෙන් සතුට පස්සේ දුවනවා වෙනුවට ඔබ වර්තමානයේ ජීවත් වෙන්න. මගේ අයිතිය, මට, ම‍ගේ, මට විතරයි කියලා බදාගන්න බදාගන්න ඔබ නොදැනුවත්ව 'දුක' ඔබව බදාගන්නවා. ඒ නිසා ඔබ වර්තමානයේ කරන දේ කරන්න, අනාගතය ගැන සිතා හෝ අතීතය කරමත තියාගෙන හෝ සතුට ලං කරගන්න සතුට පස්සෙ දිවුවොත් නිසැකව ම ඔබ යම් අවස්ථාවක දුකට වැටෙනවා. 

මේ ලෝකෙ සතුට පස්සෙ ගිහින් සතුට හොයාගත්තු සදාකාලික සතුටක් ලබපු කෙනෙක් ඉන්නවා පෙන්නන්න කියලා මම ඔයාට අභියෝග කරනවා. එහෙම කෙනෙක් නැහැ. ඔබ ගොඩගහගන්න බලාපොරොත්තු, ඔබ රැස් කරන ධනය, ඔබ මගේ මගේ කියා ළඟන් තියාගන්න දෑ හැම දෙයක්ම ඔබට යම් අවස්ථාවක නැති වෙනවා. ඒ මොහොතේ ඔබ සිතින් බදා‍ගෙන ඉන්න දෑ කොච්චරද ඒ තරමටම ඔබට ඒවා අතෑරලා යන්න දුකයි. ඔයා ඔයාගෙ වස්තුව ධනය හිතින් බදාගෙන නැත්තම් ධනය නැති උනාට ඔයාට දුක හිතෙන්නෙ නැහැ. 

මතක තියාගන්න,

බදාගන්නා තරමට දුක වැඩියි. 
හිමිකරගන්නා තරමට අහිමිවීම් වැඩියි. 
ළං කරගන්නා තරමට ඈත්වීම් වැඩියි. 
ගොඩනගාගන්නා තරමට බිඳවැටිම් වැඩියි. 

ගොඩනැගීම නවත්තන්න, බිඳවැටීම නවතීවි... 

Monday, June 24, 2013

Posted by Unknown |
ඔබට ජිවිත රක්ෂණයක් තියෙනවද? බොහෝ දෙනෙකුගේ පිළිතුර විය යුත්තේ "නැහැ" යන්නයි. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ කියාවි මොන ජීවිත රක්ෂණද මේ කාලේ වියදම් පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන් කියලා. ලංකාවෙ මිනිස්සු අතර ඉස්සරට වඩා රක්ෂණය කෙරෙහි පෙළඹවීමක් තිබුණත් තවමත් රක්ෂණය පිළිබඳ මිනිස්සුන්ගෙ යහපත් ආකල්පයක් නැහැ. කොටින්ම ඔබ ඔබේ වාහනයටත් පුලුවන් නම් තුන්වන පාර්ශව සිංහලෙන් කියනවා නම් තර්ඩ් පාටි රක්ෂණයක් දාගෙන ශේප් වෙන්නයි උත්සහ කරන්නෙ.

ඔබට ජීවිත රක්ෂණයක් අවශ්‍යය වෙන්නෙ ඇයි? 

ඔබ හෙට උදේ පත්තරේ අතට ගන්න මුල සිට අගට ඇති හදිසි අනතුරු හා හදිසි මරණ ගණන් කරන්න. ඒ කිසිවෙකුත් මින් පෙර දිනයේ ඔවුන්ට එසේ වේවි යැයි සිතන්නට නැතුව ඇති. එසේ නම් ඔබට හිතන්න පුලුවන් ද අනිද්දා පත්තරේ ඔබේ මරණය හෝ හදිසි අනතුරක් පළ නොවේවි කියලා. නැහැ හදිසි අනතුරු වලට ලක් වෙන කවුරුත් කලින් ඒ බව හිතන්නෙ නැහැ. ඔබට කියයි මටනෙ වෙන්නෙ අනිත් මොකද කියලා. එතකොට ඔබේ දරු පවුල? ඔබේ දෙමවුපියන්? ඒ අයට මොකද වෙන්නෙ? ඔබ නැති දිනක ඔබේ දරුවන්ට ඔබ දුන් සතුට දෙන්නට වෙනත් අයෙක් ඉදිරිපත් වේවිද? ඔබ ඔවුන්ට කැමති ආහාර පාන සෙල්ලම් බඩු ගෙනත් දෙන්නෙ කොයි තරම් ආදරෙන් ද? නමුත් ඔබ නැති දිනක ඔවුන්ට ඒවා දෙන්නෙ කවුද? ඔබ මේ ගැන මඳක් හෝ හිතුවද?

ඔබට කන්න බොන්න දීලා ඔබව උස්මහත් කරපු දෙමවුපියෝ ඔබ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද? ඒ අයට ඔබේ රැකවරණය මඟහැරුණොත් ඒ අයට කාගේ පිහිටක් ද? හැදු වැඩූ දරුවා වියෝ වූ විට දෙමවුපියන් කොයි තරම් අසරණ වෙනවද?

ඔබ නැති වූ විට ඔබේ බිරිඳ ඔබේ දරුවන්ට කන්න බොන්න දෙන්නෙ මොනවා කරලද?

ඔබ සදාකාලිකවම එකතැන් උවොත් ඔබව ඔබේ බිරිඳ රැක බලාගනිවි නමුත් ඔවුන්ට ලැබෙන්නට ආදායමක් තිබෙනවාද? ඔබේ ජීවිතය වැදගත් වෙන්නෙ ඔබට පමණක් නෙමෙයි ඔබෙන් යැපෙන බොහෝ දෙනෙක්ට ඔබේ ජීවිතය තීරණාත්මකයි.

ඔබේ ජීවිතයේ අවධානම බාරගන්න තමයි රක්ෂණ සමාගම් සැදී පැහැදී ඉන්නෙ. ඔවුන් ඔබ ගෙවන වාරිකය මෙන් කිහිප ගුණයක් ඔබ අසරණ වූ විටෙක ඔබට දෙනවා. ඔබ නැති කළක දරුවන්ට දරුවන්ගෙ ජීවිත ඉදිරියට ගෙනියන්න ශක්තියක් ලැබෙනවා, ඔබේ බිරිඳට කාටවත් අත නොපා ජිවීතේ ඉදිරියට ගමන් කරන්න පුලුවන් වෙනවා. ඔබ නැතත් ඔබේ හැදූ වැඩූ දෙමවුපියන්ට කළ ගුණ සලකනවා.

ඔබම හිතන්න ජීවිත රක්ෂණයක් කියන්නෙ ඔබව ගිලින්න එන බිල්ලෙක් කියලා හිතන්න එපා ජීවිත රක්ෂණයක අගය ඔබට දැනෙන්නෙ ඔබ අසරණ වූ වෙලාවකයි.


Sunday, June 23, 2013

Posted by Unknown | File under : ,


සැකය, අද පොසොන් පොහොය දිනයේ ස්වර්ණවාහීනී අමාදහර වැඩසටහනේ සාකච්ඡා උනේ සැකය ගැන නමුත් එහිදී විවිධ පැතිකඩ රාශියක් ස්පර්ශ කලත් එයින් මඟහැරුණු කරුනු සහ මට දනෙන පරිදි ඒ පිළිබඳ මගේ අදහසත් ඉතාමත් කෙටියෙන් ඉදිරිපත් කරන්න හිතුවා.

සැකය, ඒ කියන්නෙ යම් කිසි ඔබ නොදන්නා දෙයක්, තහවුරු කර නොගත් දෙයක් මෙසේ වේවි යැයි
ඔබ විසින් ම සිතින් උපකල්පනයක් කරගැනිම ට යි.

පෞද්ගලික ජීවිතයේ දී සැකය

පෞද්ගලික ජීවිතයේ දී සැකය ‍මහා ගැටලුවක් සැකය පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය යැයි කිවුවොත් ඒක ලොකු වරදක්. මොකද ඔබ සැක කළ යුතු තැන සැක කළ යුතුයි. අපි උදාහරණයක් ගමු,

ඔබේ බිරිඳ මින් පෙර වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ බව ඔබ තහවුරු කරගෙන සමාව දී නැවත පවුල් ජිවිතයට ඇතුල් වී ඇත් නම් ඇය නැවතත් යම් පුර්ෂයෙකු හා මිතුරු බවක් පෙන්වන විට ඒ පිළිබඳව සැකයෙන් අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

එසේම ඔබේ බිරිඳ ඔබත් එක්ක නිතරම වෙනත් පුර්ෂයෙක් ගැන කියනවා නම් ඔහු ගැන වි‍ශේෂ උනන්දුවක් දක්වනවා නම්, බිරිඳ වරින් වර පරස්පර වි‍රෝධී දෑ කියනවා නම් ඔබ ඒ ගැන සැකයෙන් අවධානයෙන් හිටියොත් පමණක් ඇය වරදට පෙලඹීම වලක්වගන්න පුලුවන්.

නමුත් ඔබ එය සැලකිල්ලට නොගෙන සිටියොත් ඇය වරදට පෙළඹීම වලක්වන්න බැහැ.

නමුත් කිසිදු සාධාරණ හේතුවක් නැතුව පුරුද්දකට මෙන් තමන්ගේ සහකාරිය සැක කරනවා නම් එය ඇයට නිසැකවම හිරිහැරයක්. එසේ කිරීමෙන් ඔබේ පවුල් ජීවිතය තව තවත් අවුල් වෙනවා විනා එහි සාර්ථකත්වයක් දකින්න ලැබෙන්නෙ නැහැ. නිරතුරුවම සහකරු හෝ සහකාරිය දෙස සැකයෙන් බැලීම මානසික රෝගයක් බවට පත් වෙන්න උනත් පුලුවන්.

පෞද්ගලික ජීවිතයේ දී සැක කළ යුතු තැන සැක කළ යුතුයි. නමුත් පමණ ඉක්මවා පුරුද්දක් ලෙසින් සැක නොකිරීමට වග බලාගත යුතුයි.

වෘත්තීය ජිවිතයේ දී හා භාහිර පුද්ගලයන් පිළිබඳ සැකය

පෞද්ගලික ජිවිතයට සාපේක්ෂව වැඩි සැකයක් වෘත්තීය ජීවිතයේ දි තබාගත යුතුයි. ඔබ වැඩ කරන්නෙ ඔබ දැන හඳුනගත් පෞද්ගලික චරිත ලක්ෂණ නොදන්නා මතුපිට පෙනුම පමණක් දන්නා මිනිසුන් සමඟයි. ඒ නිසා නිතරම වෘත්තීය ජීවිතයේ ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්නට නම් අනෙක් පුද්ගලයන් ගැන සැකයෙන් අවධානයෙන් සිටිය යුතුයි.

නමුත් මෙයද පමණ ඉක්මවා සැක කිරීමෙන් වෘත්තීය ජීවිතය අඩාල වෙන්න පුලුවන්. ඔබ පමණ ඉක්මවා තමන්ගේ ව්‍යාපාරික සහයකයා සැක කරන බව ඔහුට දැනුනොත් ඔහු ඔබ හා ඉදිරියට වැඩකිරීමෙන් වලකින්න පුලුවන්. එහිදී ද සැක කළ යුතු තැන සැක කරන්න මොකද වෘත්තීය ජිවිතයේ දී පවා ඔබගෙන් පලිගැනීමට ඔබව ආපස්සට ඇද දැමීමට මාන බලන බොහෝ දෙනෙක් ඉන්න පුලුවන්.

සැකයට ලක් නොවීමට ඔබේ යුතුකම

සැක කිරීම පෘතඃජන මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු විය යුතු දෙයක්. ඒ නිසා එසේ සැක නොකළ යුතුයි කියලා අපිට පෘතඃජන මනුස්සයෙකුට බල කරන්න බැහැ. නමුත් ඔබට පුලුවන් හැකි තාක් සැකයට භාජනය නොවෙන විදිහට ජීවත් වෙන්න.

ඔබේ සහකරුවාට සහකාරීයට කිසිදු දෙයක් සඟවන්න එපා, නිතරම විවෘත්තව කටයුතු කරන්න. තමන්ගේ ව්‍යාපාර සහයකයන් අතර පවා නිරතුරුවම විවෘත්තව අදහස් ප්‍රකාශ කරන්න. කිසි විටෙකත් බොරු කියන්න එපා. ඔබ එක් බොරුවක් කිවුවොත් ඔබේ සහකරු සහකාරිය නිසැකවම ඔබ ඉදිරියේ කියන දේවල් ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා.

බොහෝ විට සැකය ආරම්භ වෙන්නේ බොරුවෙන්, යම් කෙනෙක් බොරු කියනවා නම් අනිත් මිනිස්සු ඔහු කියන දෑ ගැන නිරතුරුවම සැකයෙන් අවිශ්වාසයෙන් බලනවා. එහි වරද සැකයෙන් බලන පුද්ගලයාගේ නොව බොරු කියා තමන් පිළිබඳ විශ්වාසය පලුදු කරගත් පුද්ගලයාගේ ම යි.



Friday, May 24, 2013


"අනාගතය කියන්නා"


උපන් දිනයට වෙලාවට අනුව තමයි මේකෙ ප්‍රතිඵල කියන්නෙ.
අනෙක් ඒවට සාපේක්ෂව ගොඩක් ඇත්ත කියලා හිතෙනවා.
බයිලා වැඩක් නෑනෙ ඩවුන්ලෝඩ් කරලම බලන්න.


සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. 
පාස්වර්ඩ් එක shine

Setup එක ඉන්ස්ටෝල් කරගන්න

එක්ස්ට්‍රැක්ට් කරගත්තු ෆෝල්ඩර් එකේ පැච් කියන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන
ෆයිල්ස් ටික කලින් ඉන්ස්ටෝල් කරගත්තු ෆෝල්ඩර් එකට කොපි කරගන්න.

"fmderana font" එක නැති අය ඒ ෆොන්ට් එක සෙටප් ෆෝල්ඩර් එකෙන් කොපි කරලා 
PC එකේ ෆොන්ට් ෆෝල්ඩර් එකට දාගන්න 

පැච් ඇප්ලිකේශන් එක ඕපන් කරන්න


කී එක ඕපන් කරන්න


දැන් වැඩේ හරි.


Tuesday, May 21, 2013



"පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න"
"හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න"

අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට අවශ්‍යය වේවි කියලා හිතෙන දෙයක් අලුතෙන් හදන්න කියලා? පුංචි කාලේ ඉඳලම දරුවන්ගෙ ඔලුගෙඩි පුරවන්නෙ ඉගෙනගනින් අනුන් මත යැපියන් කියන පරාධීන ආකල්පයක්. කවදාවත් ඒ තුල තමන් විසින් යමක් කරන ස්වාධීන මිනිස්සු හදන්න බැහැ.

හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි ‍නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි.

ආට් ඩිග්‍රි එකක් අතේ තියාගෙන පාරවල් ගානෙ උද්ගොෂණ කරලා ආණ්ඩුවෙ රස්සාවක් බලහත්කාරයෙන්  ලබාගෙන ඉන්න ඔබ සත්‍ය වශයෙන්ම රටට බරක්. ඔබට පුංචි කාලේ ඉඳලම වියදම් කලේ රජය. ඔබ උපාධිය ගන්නෙත් රජයේ මුදලින්. හැමදේම රජයෙන් කරගෙන බලහත්කාරයෙන් රජයෙන්ම රැකියාවක් ලබාගන්නා ඔබ ඉහත තත්වයට පත් වෙන්නෙ ඔබේ ස්වකීය වැරදි හේතුවෙන්මයි.

ව්‍යාපාරිකයෙක් යන්නේ නිතැතින් ම අවධානම් දැරීම ඇතුලත් වෙලා තියෙනවා. අවධානම් දැරීමෙන් තොරව කිසිදු සාර්ථක යමක් බිහි වෙන්නෙ නැහැ. ඔබ තවත් එක් රජයේ සේවකයෙක් වෙනවද ‍එහෙමත් නැත්තන් ස්වකීය උත්සාහයෙන් ව්‍යාපාර අවස්ථාවක් හඳුනාගෙන ඒ සඳහා වෙහෙස වී වැඩ කරලා තමන්ගේ අනාගතය සුභදායක කරගන්නවා ද කියන තීරණය ඔබ සතුයි.

අවසානයේ ඔබම හිතන්න ලොකු රස්සාව ද හොඳ දිනෙක ලොකු රස්සාවල් සිය ගණනක් බිහි කළ හැකි පොඩි බිස්නස් එක ද හොඳ කියලා. ලංකාව දියුණු නොවෙන්න ප්‍රභලතම හේතුවක් තමයි අපේ මුල් බැසගත්  පරාධීන චින්තනය. රට දියුණු වෙන්න නම් මුලින්ම චින්තන විප්ලවයක් ගොඩනගමු.


Sunday, May 19, 2013



බොහෝ දෙනෙක් මේ දවස් වල කියනවා දන්සල්, තොරන්, කූඩු, වෙස් මුණු නැතුව මොන වෙසක් ද කියලා. අපි බලමු මුලින් ම වෙසක් කියන්නෙ මොකද්ද කියලා. සිදුහත් කුමරුගේ උත්පත්තිය, ගෞතම බුදුන් බුද්ධත්වය ට පත් වීම, ගෞතම බුදුන්ගේ නිර්වාණය සිදු වෙලා තියෙන්නෙ වෙසක් මස පුර පසලොස්වක දිනයේ. අන්න ඒ දිනය ලොව පුරා ඉන්න බෞද්ධයන් විවිධ පුජෝපහාර කරමින් සමරණවා. නමුත් බුදුන් වහන්සේ සැබැවටම අගය කලේ ආමිසයට වඩා ප්‍රතිපත්තිමය පූජාවයි. නමුත් අද සිද්‍ද වෙන්නෙම ආමිස පූජාවමයි.

බොහෝ පන්සල් වල ප්‍රතිපත්තිමය පූජාවක් වශයෙන් සංවිධානය වෙන්නෙ සීල සමාදාන වැඩසටහනක් පමණයි. සිල් පද අටක් රකිමින් කරන ඒ ප්‍රතිපත්ති පූජාව සැබෑව‍ටම ප්‍රතිපත්ති පූජාවක් වන්නේ කොහොමද? එදාට වැඩම කරන හාමුදුරුවරු කියන බණ ලෞකික ජීවිතය ගත කරන හැටි කන බොන හැටි අඳින පළඳින හැටි නම් ඒක සැබෑවටම නිවන කරා යොමු වන ප්‍රතිපත්තිමය පූජාවක් වෙන්නෙ නැහැ. අවම වශයෙන් එදාට වත් තමන් රකින සීලය ගැන අවබෝධයකින් කටයුතු කරන්නට පුරුදු කරන බණක් කියනවා නම් ඉතාමත් සුදුසුයි. සීලය තුල පුහුණු කරන්නේ මූලිකවම අත් හැරීමයි. නමුත් ඔබ සිල් ගන්නට කියලා පන්සලට ඇවිල්ලා ඔබේ සිත තියෙන්නේ ජංගම දුරකතනයේ හෝ ගෙදර පරිඝණක‍යේ හෝ වෙනත් පුද්ගලයෙකු ළඟ නම් ඔබ ප්‍රතිපත්තිමය පූජාවක් සිදු කරන බව පිටින් පෙන්නුවත් සත්‍ය වශයෙන්ම එයත් හුදු ආමිස පූජාවක්ම පමණයි. කෙටියෙන්ම කියනවා නම් මලක් පහනක් පූජා කරනවා වගේ, ඔබ ඉඳගෙන එක ඉරියව්වක ඉඳගෙන සිටීමේ පූජාවක් කරනවා. ඒත් ඔබේ මනස සිල් ගැනීමේ ප්‍රතිඵල අත් කරගන්නෙ නැහැ.

බොහෝ දෙනෙක් කියන ප්‍රශ්ණයක් තමයි, "කොහෙද අනේ ඔය සිල් ගන්න පැය ගණන් වෙලාව තියෙන්"නෙ කියලා. සිල් ගන්න වෙලාවක් අවශ්‍යය ද කියන එක ඔබට ඉදිරියේ දී පැහැදිලි කරන්නම්.

අපි අට සිල් වලිනුත් සරල වෙලා පන්සිල් වලට යොමු වෙමු, පංච ශීලය කියන්නෙ ඔබට එදිනෙදා කරන කටයුතු වලදී පවා ආරක්ෂා කිරීමට හැකි ශීලයක්. ඒකට වෙනම වෙලාවක් වෙන් කරගැනීම අවශ්‍යය නැහැ.   පන්සිල් රැකීම ඇත්තටම ඔය කියන තරමටම නිර්වාණයට අදාල ප්‍රතිපත්ති පූජාවක් ද?

අපි උදාහරණයක් ගමු,

ඔබව මදුරුවෙක් කනවා, ඔබට මදුරුවව මරන්නම හිතෙනවා නමුත් ඔබ මදුරුවා මරනව ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔබට ආපු ඒ හැඟීමේ ඔබට පාලනය කරන්න පුලුවන් ද බැරිද කියන එක අනුවයි. ඔබට ඒ එන සිතිවිල්ල පාලනය කරලා මදුරුවා මරන එක නවත්තගන්න පුලුවන් කියන්නෙ ඔබ ඒ හැඟීම අත් හරිනවා.

ඔබ දකිනවා පාරේ යන මනුස්සයෙක්ගෙන් රුපියල් 2000ක් බිම වැටෙනවා. ඔබ ඒක අහුලලා දෙනවාද නැත්තන් නිශ්ෂබ්දව ඉඳලා අහුලලා සාක්කුවෙ දාගන්නවා ද කියලා තිරණය වෙන්නෙ ඔබට ඒ මුදලට ඇති ආශාව සමහ ආපු සිතිවිල්ල අත් හරින්න පුලුවන් ද කියන එක මතයි. ඔබට පුලුවන් නම් කතා කරලා කියන්න මෙන්න සල්ලි බිම වැටිලා කියලා ඔබ ඒ 2000 මනසින් අත් හැරියා. ඒ 2000 අරගෙන කරන්න පුලුවන් කියලා හිතට ආපු ආශාවල් අත් හැරියා.

ඔබට හිතෙනවා ඔබේ බිරිදගේ මිතුරියක් සමඟ හාද වෙන්න. නමුත් ඔබට පුලුවන් නම් ඒ හැඟීම පාලනය කරන්න ඔබ තුල බිරිඳගේ මිතුරිය ගැන ඇති උන ආශාව ඔබ අත් හරිනවා.

මේ ආදී වශයෙන් පංච ශීලය ආරක්ෂා කිරීම තුල නිතැතින් ම ඔබව අත් හැරීමට පුරුදු කරනවා. අත් හැරීම කියන්නෙ භෞතික වශයෙන් තමා සතු දෑ අත් හැරීම ලෙසයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ, නමුත් බුදු දහමේ කියා දෙන අත් හැරීම යනු භෞතික සම්පත් කෙරෙහි ඇති ආශාවන් මනසින් අත්හැරීමයි. බුදු රජාණන් වහන්සේ පවා මෙය සංසාරය තුල ක්‍රමයෙන් පුරුදු කළ අයෙක්.

ඔබ රැස් කරගන්නට වඩා කැමති පින් වුවත් වඩා වැදගත් වන්නේ කුසලයයි. පින කියන්නෙ මාසික වැටුපක් නම්, කුසලය කියන්නෙ රැකියාවයි. රැකියාව ඇත් නම් වැටුප තියෙයි. රැකියාව කියන්නෙ වැටුප් ඉපයීමට ඇති හැකියාවයි.

ඉතින් ඔබම හිතන්න මෙයට ඔබේ කාලයෙන් අමතර ප්‍රමාණයක් වැය කරන්නට අවශ්‍යය නැහැ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී හොඳ දේ කරන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න, එවිට ඔබට සම්මතයට පටහැනී දෑ අත් හරින්නට සිදු වේවි අන්න එය ඔබව නිරන්තරයෙන් ම ඔබට නොදැනීම "මනසින් අත්හැරීම" ට පුරුදු කරාවි. හිතන්න , අපි මේ පාරත් වෙසක් සමරන්නෙ ඔලුබක්කො නටල ද? එසේත් නැත්තම් බුද්ධිමත් ලෙස බුදු දහම අවබෝධ කරගෙන අත් හැරීමට මනස පුරුදු කිරීමෙන් ද?  තීරණය ඔබේ අතේ...

Sunday, May 12, 2013

Posted by Unknown |



ලංකාවේ විධායක ජනාධිපති ධූරය, කාටත් වග නොවන තමාගේ තනි කැමැත්තට ඕනෑම දෙයක් කිරීමට හැකි ලොව අනෙක් රටවලට සාපේක්ෂව බලවත්ම ජනාධිපති ධූරයක්. රට දියුණු කරනවා නම් රට ආ පස්සට අදින්නන් වලකමින් සීග්‍රවේගයෙන් දියුණුව කරා මෙහෙයවන්න මේ තරම් හොඳ උපකරණයක් තවත් නැති තරම්.

නමුත් විධායක ජනාධිපති ධූරය ඇති කළ දා පටන් පත් වූ බොහෝ ජනාධිපති වරු එය රටේ යහපතට යොදාගනු වෙනුවට තමාගේ යහපත උදෙසා පාවිච්චි කරපු එකයි කරලා තියෙන්නෙ. එහෙනම් යම් කිසි ගැටලුවක් තියෙනවා. ඉහත කියන ධූරයට පත් වෙන්නෙ සියලු කෙලෙස් නැසු මාර්ගඵල ලාභියෙක් නෙමෙයි. සාමාන්‍ය මනුශ්‍යයෙක්. එසේ නම් ඒ ධූරයට පත්වන ඕනෑම අයෙකුගෙන් අඩුපාඩුකම් ඇති වෙන්න පුලුවන්.

අපි දැන් බිමට බැහැලා බලමු. මිනිස්සු ජීවත් වෙන්නෙ බොහෝම අමාරුවෙන්. ඒ අතර බේබිලාට සෙල්ලම් කරන්නට නයිට් රේස් තියනවා. ඒවට වියදම් කරන්නෙ කාගෙ සල්ලි ද? ඒවත් හරි කියමුකො. නැවු නැති වරාය, කුරුල්ලො බාන ගුවන්තොටුපල, විදුලිය ජනනය නොකරන බලාගාර, මේවා අධික පොලියට ණය වෙලා හදලා තියෙන්නෙ. නමුත් මේවගෙන් රටට ප්‍රතිලාභයක් තියෙනවද? කොහෙත්ම නැහැ.

විධායක ජනාධිපති ධූරයේ බලය සියලු ක්ෂේත්‍ර වලට පැතිරිලා ගොස් හමාරයි. මොකද අති බහුතරයක් බලවත් ක්ෂේත්‍ර වල තීරණාත්මක පත් කිරීම් ඉවත් කිරීම් තියෙන්නෙ ජනාධිපතිවරයා සතුවයි. ඒ අදාල පත් කිරීම් තමාට තනි කැමැත්තට සිදු කිරීමට බලය තියෙනවා. එසේ නම් අදාල ක්ෂේත්‍ර වල ස්වාධීන භාවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේම ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේවි කියලා කියන්නත් බැහැ. මොකද දේශපාලනය ගෑවුන තැනක් නිතැතින්ම අකාර්යක්ෂම වෙනවා.

ඉතාමත් කෙටියෙන් කියනවා නම් රටේ සියලු දෑ එක් පුද්ගලයෙක් වටා එකතු වෙනවා. එහිදී ඇති වෙන්නෙ පැරණි රාජාණ්ඩු ක්‍රමයකට සමාන රජු දේවත්වයට පත් වන, සමානාත්ම තාව වලපල්ලට යන ක්‍රමයක්.

එසේ නම් කළ යුත්තේ කුමක්ද?
මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් පොරොන්දු වූ පරිදි කතිකාවතක් ඇරඹිය යුතුයි, විධායකය සතු අත්තනෝමතික ලෙස රටට බලපාන තීන්දු ගැනීමේ හැකියාව සීමා කළ යුතුයි. එහි බලය පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි. ප්‍රමුඛ අවශ්‍යයතාව හඳුනාගන්න. අවශ්‍යයතාවය වෙනුවෙන් පෙළ ගැසෙන්න...

සංවේදී විධායක ජනාධිපතිවරයෙක් සිටී නම්, 2/3 ආණ්ඩුවක් තිබේ නම්, රටේ යුධ තත්වය අවසන් නම්, දැන් එළඹ ඇත්තේ ආණ්ඩුක්‍රම සං‍ශෝදනයකට සුදුසුම කාලය නොවේද?

Friday, April 5, 2013

Posted by Unknown | File under :


සිංහල බෞද්ධයාට අයිති මහපොළොව, සංස්කෘතික අංග, ආගමික ස්ථාන, පූජා භූමි පොදු අයිතියට පත් කරනවා ඒවා කොයි තරම් විකෘති කලත් ඒ වරද සහජීවනයේ බෝඩ් ලෑල්ලෙන් වැහෙනවා. ඒත් සුළු ජාතීන්ගේ සංස්කෘතික අංග, ආගමික ස්ථාන, ජීවත් වන ගම් බිම් වලට කාටවත් අත තියන්නවත් බැහැ!

සහජීවනය උදෙසා අපේ අනන්‍යතාවයන් නම් ඉටිපන්දම දියකර හරිමින් සුළු ජාතීන් නම් වෙනත් ඉටිපන්දමක් ශක්තිමත් කරනවා. අනාගතයේ දී ඒ ඉටිපන්දම නම් හොඳින් දැල්වේවි. හැබැයි සහජීවනයේ නාමයෙන් තමන් මෙලොවට බිහිවූ ජාතකය පාවා දුන් ජාතියේ අනාගතය අඳුරු වේවි!

Wednesday, April 3, 2013

Posted by Unknown |


සමහර දේශපාලඥයො අද කියන‍්නෙ ජාතීන් දෙකඩ කරන්න විදේශ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා කියලා. රටේ වෙන්නෙ මොකද්ද ඒ හැම කෙහෙල්මලක්ම විදේශ කුමන්ත්‍රණ කියලා කියනවා නම් ඒක ලෙඩක්. අද ඇති වෙලා තියෙන සිංහල - මුස්ලිම් අර්බුධය ක්ෂණයකින් මතුවූ එකක් නෙමෙයි. කාලයක් තිස්සෙ සිදුවෙන සුළු ජනකොටස් වලට වැඩි වරප්‍රසාද ලබාදීම නිසා දැඩි සිත් තැවුලෙන් හිටපු සිංහල බෞද්ධ මිනිස්සුන්ගෙ පුපුරා යෑමක් තමයි මේ සිද්ද උනේ. ඔය කියන විදිහට විදේශික බලවේග වලට මිනිස්සු පාරට ගේන්න බැහැ. අඩුම තරමින් අද ඡන්ද රැස්වීමකට දේශපාලන බලය පාවිච්චි කරලා, කන්න බොන්න දීලත් මිනිස්සු ටිකක් එකතුකරගන්නෙ  කොච්චර අමාරුවෙන්ද කියලා ඔය කියන කුහක දේශපාලඥයො හදවතට තට්ටු කරලා ඇහුවොත් තේරෙයි.

රටේ පැහැදිලිවම අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. අද අපි මුස්ලිම් ව්‍යාප්තිවාදයේ ගොදුරක් වෙලා ඉවරයි. අඩියක් අඩියක් ගානෙ පල්ලි හැදීගෙන යනවා. එදා නොතිබුණ බූර්කාවක් අද මතු වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ සිට සියලුම තැන් දක්වා මුස්ලිම් ව්‍යාප්ති වාදය ඇදිලා ගිහින් තියෙනවා.

මේක අපේ රටේ විතරක් උන දෙයක් නෙමෙයි, ලෝකය තුල පැහැදිලි උදාහරණ තියෙනවා සම්පූර්ණයෙන් බෞද්ධව තිබූ රටවල් කාලයකට පසු ඔවුන්ගේ දුර්වල තාම නිසා අද අන්තවාදී මුස්ලිම් රාජ්‍යවල් බවට පත් වෙලා. අද ඒ රට වල බුද්ධ ප්‍රතිමාවකට වත් ඉඩක් නැහැ.

හලාල් විරෝධීන් ජාති වාදීන් ය කුමන්ත්‍රණ කරුවන්ය කියලා කියන අතරෙම තවත් පැත්තකින් කියනවා හලාල් සහතිකය ලබාදීමට උලමාවරුන්ට කිසිදු බලයක් නැහැ. ඒ බලය 2007 දී ලබා දුන්නත් 2008 දී ඒක අහෝසි උන නිසා ඊට පසුවත් උලමාවරු නීති විරෝධී ලෙස සහතිකය නිකුත් කිරීම වැරදිය කියලා. ඉතින් නීතිය හැමෝටම එක නම්, අපි හැමෝම එකයි නම්, කෝ ඒ අයට දීපු දඬුවම්? හලාල් විරෝධය පෑවාට සුදම්ම හාමුදුරුවන්ව හතරවෙනි තට්ටුවට ගෙනිච්චා වගේ අද උලමාවරු මේ කරපු වංචාව ගැන පරීක්ෂණ නොකරන්නෙ ඇයි?

නමුත් තවත් දෙයක් පැහැදිලිව කියන්න ඕනෙ, මේක තවත් තමිල්නාඩුවක් නෙමෙයි. ඒ නිසා මේ කිසිම දේකට කලහකාරී වෙලා උත්තර හොයන්න බැහැ. රට ගැන හැඟීම ඇඟට ආවම තියෙන මොරාල් එකට ගිහින් රට පුරා නෝලිමිට් ෆැෂන් බග් කුඩු කරන්න උනත් පුලුවන් එක ඇත්ත. හැබැයි එහෙම කලොත් වෙන්නෙ ලෝකය තුල අපිව තවත් හිර වෙලා ඒවායෙන් අපිව බේරගන්න කියලා ආයෙත් මුස්ලිම් රටවල් වලට වැඩි වැඩියෙන් පුද පඬුරු දෙන්න වෙන එක විතරයි. මේවට මතවාදීව උත්තර දෙනවා මිසක් අතේ පයේ හයියෙන් මේවා විසඳන්න ගියොත් නැති ප්‍රශ්ණ ඇති වෙනවා විතරක් නෙමෙයි ඇති වෙලා තියෙන බෞද්ධ පුනරුදයටත් කණ කොකා හැඬිමක් වේවි.

ඒ වගේම මුස්ලිම් කඩ වර්ජනය කරනවා නම් ඒකට ඕනම කෙනෙක්ට පරම අයිතියක් තියෙනවා. නමුත් ඒක බලහත්කාරයෙන් කරන්න යනවා නම් ඒක ඒ තරම් හොඳ තත්වයක් නෙමෙයි. අපි බෞද්ධයන් මිසක් තලෙයිබාන් සංවිධානය නෙමෙයි. මුස්ලිම් කඩ වලට මිනිස්සු යන එකට උත්තරය "බිත්තරය" නොවෙයි!

Saturday, February 9, 2013

Posted by Unknown | File under : ,


(කිසිවෙකුට අපහාසයක් සිදුකිරීමේ අරමුණින් ප්‍රචාරය කිරීමක් 
නොවන අතර හුදෙක් රසවින්දනය සඳහා පමණි.)

Monday, February 4, 2013

Posted by Unknown | File under :
වැලන්ටයින් දවස හැදුනෙ කොහොමද කියලා නම් නෙමෙයි මේ කියන්න යන්නෙ. නමුත් අද වැලන්ටයින් දිනය සමරන්නෙ පෙම්වතුන් ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයන් ද කියන ගැටලුවයි මට තියෙන්නෙ. මීට ටික කාලෙකට ඉස්සර පෙබරවාරි කියනකොටම තරුණ ළමයින්ට මතක් වෙන්නෙ නිදහස් දිනය නෙමෙයි 14 වැලන්ටයින් දිනය. ඒවාට උඩගෙඩි දීපු සමහරක් නොහිටියා නොවේ.


වැලන්ටයින් නැති උනාට අපේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු මේ රටේ ආදරය කලා. පෙම්වතුන් පෙම්වතියන් හිටියා. නමුත් අද මොකද්ද මේ වැලන්ටයින් දිනයක් ගෙනල්ලා කාගෙ උවමනාද සපුරගන්න හදන්නෙ. අද බොහොම අවාසනාවන්ත තත්වයක් උදා වෙලා සමහර හෝටල් වල පෙබරවාරි 14 දිනය සඳහා හෝටල් කාමර සම්පූර්ණයෙන්ම දැනටත් වෙන් කරගෙන හමාරයි. ඇයි මෙහෙම තත්වයක් ලංකාවට උදා වෙලා තියෙන්නෙ.

මීට ටික කාලෙකට කලින් අපේ අතින් අත් වැරැද්දක් උනා. ඒ අපි බටහිර සංස්කෘතිය වැළඳගත්තා. නමුත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. හරියට මූන ජපන් කඳ ජර්මන් වගේ. බටහිර සංස්කෘතිය කෘතිමව වැළඳගත්තට තාමත් අපේ චින්තන රටාව අපේ ඇතුලෙ තියෙන මොට මානසිකත්වය අපේ ඇතුලෙ තාමත් තියෙනවා. ඇත්තම කිවුවොත් මේක විකෘත්තියක් වෙන්න හේතුව ඒකයි.

මීට දවස් කිහිපයකට කලින් සමූහ දූෂණ දෙකක් දැකගන්න ලැබුනා. ඇයි එහෙම තත්වයක් උදා උනේ ? ඊට කලින් ලංකාව ලෝකයෙන් පලවෙනි තැනට ආවා සෙක්ස් කියන වචනය සර්ච් කිරීම සඳහා. සමහරු කාන්තාවන්ට දොස් පවරනවා ඒ අයගෙ ඇඳුම් පැලඳුම් වලට. පිරිමින්ට දොස් පවරනවා මුන් මහ කාමුක ජාතියක් කියලා. ඇත්තටම මේ දෙගොල්ලගෙම නෙමෙයි වරද. අපි මේ බාගෙට වැළඳගත්තු බටහිර සංස්කෘතිය එක්කෝ අපි සම්පූර්ණයෙන් වැළඳගෙන බටහිරකරනය විය යුතුයි. එහෙම නැත්තන් මේ කෙහෙල්මල් අතෑරලා දාලා අපි පරණ විදිහට ශ්‍රී ලාංකික විදිහටම ඉන්න ඕනෙ.

අපේ රටේ හැමදාම මධ්‍යම ප්‍රතිපදාව කියලා ‍එහෙන් ටිකයි මෙහෙන් ටිකයි එකතු කරලා අච්චාරුවක් හදාගත්ත එකනෙ පුරුද්ද. හරිය‍ට ප්‍රජාතාන්ත්‍රක සමාජවාදී වගේ. පරස්පර විරෝධී සංස්කෘති දෙකක් බාගෙට මිශ්‍ර කලාම වෙන්නෙ විකෘත්තියක්, විනාසයක්.

මාතෘකාවෙන් ටිකක් පිට ගියා වගේ :)

රෝස මලක් දෙන එකද ආදරේ? හෙට අනිද්දා වෙද්දි රෝස මල් අරන් වෙලෙන්දො පාරට බහීවි. කමක් නෑ ඔබට රෝස මලක් දෙන්නම අවශ්‍යය නම් ගන්න පාරෙ ඉන්න අහින්සක දුප්පත් වෙලෙන්දෙක්ගෙන්. ඔඩෙල්, සෙකන්ඩ් චාන්ස්, ලස්සන ‍ෆ්ලෝරා වගේ මහා පරිමාණ වැලන්ටයින් වෙලෙන්දන්ගෙන් නැතුව ගන්නවා නම් දුප්පත් මනුස්සයෙක් ගෙන් ගන්න. ඔහු දවසක් හරි කාලා ඉන්න පිනෙන් හරි ඔබේ ආදරයට ආශිර්වාදයක් එක් වේවි.

අපි කොයි තරම් මෝඩද කාගෙවත් උවමනාවට හදාගත්තු වැලන්ටයින් දිනයට අපි කොයි තරම් විකිනෙනවද. ඇත්තටම ඔබට මෙහෙම යෝජනාවක් කරන්නම්, ඇත්තටම මම කරන දේ මේකයි. වැලන්ටයින් සමරමු හැබැයි අර්ථවත් විදිහකට.

සාමාන්‍යයෙන් පෙම්වතුන්ට වසරේ වැදගත් දින තුනක් එනවා.
1) වැලන්ටයින්
2) පෙම්වතියගේ / පෙම්වතියගේ උපන් දිනය
3) සංවත්සර දිනය

පෙබරවාරි 14න් පටන්ගන්න. පෙම්වතියට හෝ පෙම්වතාට අනිවාර්යෙන්ම බැංකු ගිණුමක් ඇති. නමුත් ඔබ අලුත් ගිණුමක් ආරම්භ කරන්න. සහකරුවාගේ නමින්. එයාට එන්න කියන්න. ඔබේ සහකරුවා බුද්ධිමත් නම් අනිවාර්යෙන් ඔබ ගැන බොහෝ පැහැදේවි මොකද කෙල්ලෙක් හොයන්නෙ තමන්ගෙ අනාගතේ ගැන හිතන කොල්ලෙක්. කොල්ලෙක් හිතන්නෙ අර පිරිමැස්මෙන් වැඩ කරන කෙල්ලෙක්.

ඉතින් ඊට පස්සෙ තියෙන්නෙ වසරක් ගානෙ සෑම වැදගත් දිනයකම ඔබට හැකි ඔබේ බජට් එකට ගැලපෙන ප්‍රමාණයෙන් ඩිපොසිට් එකක් දාලා දෙන්න. කවදා හරි දවසක ඔබට තේරේවි ව්‍යාපාරිකයන්ට පූජා කරන්න තිබුණු විශාල මුදලක් ඔබේ පෙම්වතිය ළඟ අර්ථවත් විදිහට එකතු වෙලා කියලා. රෝසමල් නැතත් කමක් නෑ කාඩ් එකක් දෙන්න. :)

අද දිනය හෙට ගැන පැහැදිලි කාලයක් නෙමෙයි. ඔබේ හෙට දවස වෙනුවෙන් ඉතිරියක් කරගන්න. ඔබ හිතුවත් නොහිතුවත් ඒක රටේ ඉතුරුම් වලට එකතු වෙනවා. රටේ ස්ථාවර බවට ඔබ නිතැතින්ම සුලුවෙන් හෝ දායක වෙනවා. ඔබ දාලා දෙන ඉතුරුමක් නිසා පෙම්වතියත් ඒක නාස්ති කරන එකක් නැහැ :)

Sunday, February 3, 2013



අද ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නෙ විදේශ රටවල සේවය කරන ගෘහ සේවිකාවන්. ඇත්තටම ඒක සතුටු වෙන්න කාරණාවක් ද? ඇත්තටම ඊට වඩා හොඳ දෙයක් ඇත්තෙම නැද්ද?

ඔය හැමදේටම කලින් හැදිය යුතු නමුත් හැදීමට ඉතාම අපහසු දෙයක් තියෙනවා. ඒ තමයි වෘත්තීය ගෞරවය. පුංචි කාලෙ ඉඳල දරුවෙක්ගෙ ඔලුව ඇතුලෙ පැල කරන්නෙ දොස්තර, ඉන්ජිනේරුවා, නීතීඥයා , ගුරුවරයා තමයි ගෞරවනීය වෘත්තීන්, අනිත් අය ඔක්කොම කාරයො. ඒ කියන්නෙ

පොලිස් කාරයා, බිස්නස් කාරයා, හමුදා කාරයා, මාලු කාරයා

මනුස්සයෙක්ගෙ හදවතින් අහලා බැලුවොත් ඇත්තටම වැටුප කියන‍්නෙ හැමදේම නෙමෙයි. ඒ අයට වෘත්තිය ගෞරවයක් ලැබුණොත් එයාලට මානසික තෘප්තියකුත් හිමි වෙනවා. එතනින් එහාට හැදෙන වටපිටාව තුල මීට වඩා දහස් ගුණයක් හොඳ පරිසරයක් ගොඩනැගේවි. ඕනෑම වෘත්තියක් කරන මනුස්සයෙකුට වෘත්තියෙන් බැහැර කාලය තුල අනිත් මිනිසුන් හා සමානාත්ම තාවක් තිබිය යුතුයි. රටක් දියුණු වෙන්න නම් ජාතීන් අතර සමානාත්ම තාවය ඇති කරන්න කලින් වෘත්තීය සමානාත්ම තාවය ඇති කරන්න වෙනවා.

ඔබ මේ රටේ පුරවැසියෙක් නම් ඔබ කල යුත්තේ ආණ්ඩුවෙන් දෙන අධ්‍යාපනය ලබාගෙන ඇඟ බේරගන්න මොකක් හරි ආණ්ඩුවෙ රස්සාවක් කරන එකද, එහෙම නැත්තන් මේ රටේ නිශ්පාදනයට දායක වෙන්න පුලුවන් විදිහෙ පුංචි හරි යමක් කරන එකද? ඔබ තනි තනියෙන් කුමක් කලත් මතක තියාගන්න ඕනෙ ඒ කරන දෙයින් ර‍ටේ සමස්ථ නිශ්පාදන ධාරාවට යම් කිසි දෙයක් එකතු වෙනවා. පුංචි පුංචි වතුර බිංදු එකතු වෙලයි ගඟක් හැදෙන්නෙ.

බොහෝ දෙනෙක්ගෙ මතය තමයි පිට රට ගිහින් මොනා කලත් කමක් නැ, මොකද කාටවත් පේන එකක්යැ. ඇයි ඒ තැන ලංකාවෙ හදන්න බැරි? මනුස්සයෙක් නැගිටින්න හදනකොට ඒකව බිමට දාලා පාගලා පාගලා දාන වටපිටාව වෙනස් කලොත් අර විදෙස් රටවල් වල යොදවන ශ්‍රමය ඉතාමත් ඵලදායී ලෙස ලංකාවේ යොදාගන්න පුලුවන්. මොකද ලංකාවේ පැය 08 වැඩ කරන්න ඉල්ලුවට මිනිස්සු ඒ රටවලට ගියාම සමහරවිට පැය 18ත් වැඩ කරන්න සූදානම්.

ඇයි අපිට අර විදෙස් රටවල දාඩිය කඳුලු හලන මිනිස්සුන්ගෙ ශ්‍රමය, ලංකාවේ අපනයන කර්මාන්තයක්  ආරම්භ කරලා මොකක් හරි පිට රටකට ඔබින භාණ්ඩයක් හදලා හොඳ කර්මාන්ත ශාලාවක් ඇතුලෙ යොදවන්න බැරි? ඒකෙන් ගේන විදේශ විනිමය අර වහල් සේවයට වඩා දහස් ගුණයක් වටිනවා නේද? විදේශ රටකට හොඳින් ගැලපෙන යමක් හොයලා නිශ්පාදනය කලොත් ඒ ලැබෙන ඉල්ලුමත් සමඟ ඉහතින් කියපු ශ්‍රමිකයන්ට විදේශ රටකදි ලබන වැටුපම ලංකාවෙදීත් උපයන්න පුලුවන් වේවි. ඊට වඩා 100 ගුණයක් ආරක්ෂා සහිතව.

එතකොට ඔබ කියයි වෘත්තීය ගරුත්වය ගැන උඩින් කියපු මමත් වෘත්තීය ගරුත්වය ලබා දෙන්නෙ නෑ කියලා. ගෘහ සේවය හරියාකාරව සිද්දවෙනවා නම් ඒකට කිසිම විරෝධයක් නැහැ නමුත් ගෘහ සේවිකාවන් විදේශ රටවල් වලදි විඳින අනන්ත දුක් දන්නෙ ඒ අයගෙ හිත් විතරයි. ඒ වගේම ඒකෙන් හරි පිලිවෙලට වැටුප් ‍නොලැබෙන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි විදෙස් ගත වුන 70%ට වඩා තමන්ගෙ පවුල් විනාස කරගෙන. දරුවො සීසීකඩ විසිරිලා අයාලේ යනවා. ඉතින් එතනින් එහාට ඔබ ලබාගන්නේ කුමක් ද? විදේශ රැකියා කිසිම විටෙක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නැහැ.

වෘත්තීයමය වශයෙන් වුවත් විදෙස් ගත වෙන 90%ක් තමන්ගෙ පවුල් පිටින් විදේශගත වෙනවා විනා කිසි දිනෙක තම වැටුප ලංකාවට එවන්නෙ නැහැ. බොහෝ විට ඒ අය විදේශ විනිමය ගේන්නෙ නැහැ.

අවසාන වශයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා හැම වෘත්තියකටම ගෞරවයක් දක්වන්න. ඔබට පුංචි දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවන්ටත් කියාදෙන්න හැම වෘත්තියකම තියෙන වටිනාකම. දරුවන්ගෙන් අහන්න "කුණු අදින මනුස්සයා දවස් දෙක තුනක් නාවොත් අපිට මොකද වෙන්නෙ" කියලා. වැඩිහිටියන් තුළ මේ මානසිකත්වය බොහෝ කාලයක් පැලවී ඇති නිසා වෙනස් කරන්නට අපහසු වේවි. නමුත් පුංචි දරුවන්ගෙන් පටන්ගන්න අන්න එතකොට කවදා හරි දවසක මේ රට පාරාදීසයක් කරන්න ඒ දරුවන්ට හැකි වේවි!

Thursday, January 31, 2013

සියල්ලන්ට සාධාරණ වීම සඳහා ඔන්න තියෙනවා හැමෝටම සමාන තරඟයක්. 
බලන්නකො ඉතින් වචන වලින් කියන්න දෙයක් නැහැ. 
මේ තමයි ලංකාවේ අධ්‍යාපනය. 


Thursday, January 3, 2013

Posted by Unknown |


නීති ප්‍ර‍වේශ විභාගයේ සිදුවී තිබෙන අක්‍රමිකතාවයන්ට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් 2013 ජනවාරි මස 07 වන දින උදෑසන 7 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ නීති ප්‍රවේශ විභාග ශිෂ්‍ය එකමුතුවයි. මෙයට ‍බොහෝ බෞද්ධ සංවිධාන ද සහය දැක්වීමට තීරණය කොට ඇති අතර ඒ සඳහා යුක්තිය අගයන ඔබට ද ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු!